නාගරීකරණයෙන් හෙම්බත් වී නිමක් නැති වැඩ කන්දරාවක් නිසා ආතතියට පත් සිත් සුවපත් කිරීමට ගැමි සුවඳ වූ කලී මහෝෂධයකි. එලෙස ගැමි සුවඳ විහිදුවාලන අපූර්ව නිර්මාණයක් වශයෙන් අපොයියාව පෙන්වා දිය හැකි ය.එය කියවීම තුළින් ගැඹුරු ආශ්වාදයක් ලබා ගත හැකි වන පරිදි ඉතා සරල සිදුවීමක් ප්‍රසාරණය කරමින් නොහිතන මානයක් ඔස්සේ ගොඩනැගෙන අපූරු ප්‍රබන්ධයක් ලෙස මෙම කෘතිය පාඨක සම්භාවනාවට පාත්‍ර වේ.එය ශ්‍රී ලංකාවේ ඉපැරැණි ග්‍රාමීය වටපිටාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමකි. වයස් භේදයකින් තොරව කියවිය හැකි පොතක් වුවත්, මෙය වර්තමාන දරු පරපුරට මා හැගි විශ්වකෝෂයක් වන බව නොකිවමනාය.තාක්ෂණික ලෝකයේ අතරමං වූ දරුවන්ට ගැමි ජීවන මිහිර,චාරිත්‍ර වාරිත්‍ර,සරල දිවි පැවැත්ම කියා දෙන්නට උපන් සමතෙක් ලෙස අපොයියාව විවරණය කළ හැකිය. වත්මන් විෂය නිර්දේශයේ සඳහන් ගැමි සිරිත් විරිත් හා කෘෂිකර්මාන්තය පිළිබඳ විස්තර සෙවීමට දෙමව්පියන් යූටියුබ් නාලිකා පීරණ අයුරු අත්දැකීමෙන් දැක ඇති මට සිතෙන්නේ කතුවරයා විසින් ශිෂ්‍යත්ව විභාගයට නිසැක ලකුණු කිහිපයක් වැනි තේමාවක් නවකතාව සඳහා යොදා ගත්තේ නම් තවදුරටත් මෙම කෘතිය හරහා ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගැනීමට හැකියාව ඇති බවයි.එතරම් ම ගැමි සාහිත්‍ය හා කෘෂිකර්මාන්තයට සමීප කරුණු රැසක් මෙම කෘතිය හරහා අනාවරණය කරයි.
වචන
කිහිපයක ප්‍රහේලිකාවක් පිරවීමට තම මිත්තණිය හා එකතු වන මුතුහර නම් දරුවා වටා
ගෙතුණු සරල කතාන්දරයක් නවකතාවට වස්තු විෂය වී තිබුණ ද තිබුණ ද ඊට වඩා ගැඹුරු සමාජ
පණිවිඩයක් අභ්‍යන්තරයේ සගවා තබන්නට කතුවරයා උත්සුකව ඇති සෙයකි.පැරණි ගැමියන්
සතු වූ ප්‍රායෝගික දැනුම් සම්භාරය වත්මන් උගතුන්ගේ කෘතීම බුද්ධියට අභියෝග කරන
අයුරු මෙහි ව්‍යංගාර්ථයෙන් සඟවා තිබේ.
"ඔය බාසා උප්පරවැට්ටි හරියටම රාත්තිරි වෙල් එළිය වාගේ. නානාප්‍රකාර සද්ද දුරින් ඇහෙනවා, ළඟින් ඇහෙනවා, අඩුවෙවී වැඩිවෙවි ඇහෙනවා,හයියෙන් කිව්වොත්
එකක්, හෙමින් කිව්වොත් තව එකක්,
හඳ තියෙන දාට තියන සද්දෙ නෙවෙයි හද නැති දාට, වැහි කාලෙට එකක්,........ මැඩියෝ උගෙ විදිහ, උලමා උගෙ විදිහ, පළගැටියා උගේ විදිහ මෙව්වා අපට දැනෙන්නේ එක එක විදිහට, හිඟලා එක විදිහක් ,දෙමළ තව විදිහක්,ඉංගිරිසි තවත් විදිහක් හැබැයි ඔක්කොම ඈයෝ කියන්න තනන්නේ එකම දේ,
ඒ හින්දා උඹලට ඉංගිරිසි උගන්වන දිසානායක ඉස්කෝලෙ මහත්තයගෙන් අහල බලපං අපි පෙරලාපු පදේ හරිද කියල." (පිටුව
19)
"ඕකට මොකක් හරි හොඳ උත්තරයක් ඇති, පුරස්නෙ අහල
ඇත්තෙ අපි මුලා වෙන පිළිවෙලට,ආං ඒ වෙලාවට පුරස්නෙ අස්සෙම
දැවටි දැවටි නොයිද ටිකක් නිවිහැනහිල්ලේ කල්පනා කරන්න ඕනි." (පිටුව 27)
ඇතැම්
විටෙක මෙම කතාව සඳහා මිත්තණියක් සම්බන්ධ කරන්නේ මස්ඉඹුලයන්ගේ සාහිත කෙත අස්වැද්දුමට
ඔහුගේ මිත්තණිය කළ සුවිසල් කාර්යභාරය සිහිගන්වනු වස් ද විය හැකිය.මෙම මිත්තණිය
පාසල් අධ්‍යාපනයක් නොලැබුවද, වටපිටාවෙන් හා මුඛ
පරම්පරාවෙන් පැමිණි දැනුමින් සන්නද්ධව විශ්වකෝෂයක් ලෙස කතාව තුළ නිරූපිත ය. එය ඔහුගේ කිරිඅම්මා පමණක් නොව සමස්ත වැඩිහිටි ගැමි සමාජයම නිරූපණය
කරන්නකි. එසේ හෙයින් මෙය බැලූ බැල්මට සරල ගැමි කතාවක් ලෙස
පෙනුනද අභ්‍යන්තරය ඉතා ගැඹුරු ධර්මතාවකින් සන්නද්ධ ව ඇති බව කිව හැකිය.
"බලාපන් ඒ
මිනිස්සු කැලෑ සත්තු වගේ රණ්ඩු සරුවල් වෙනවා,රට රාජ්‍යවල්
අල්ලන්න වගේ. ඔය බොහෝම පුංචි දේවල්වලට ඕව කතාබහ කරලා බේරුමක් කරගන්න බැරිකමක් නෑනෙ. බලහන් අර පොරි අහුර වගේ ඉන්න සුදු ලමිස්සි,ඔය
රොබින් හුට් කියන ඉලන්දාරියා එක්ක කැලෑ වැදිලා විඳින දුකක්.ඔය ගහන කඩු පාරක් විදින හී පාරක් ඇත්තටම වැදුනා, ආයෙ උන් කතරගම දෙයියන්ට කියන්නද? කොහෙත් එකයි
ළමයිනේ දේස දීපංකරේත් එකයි මේ ලංකාවෙත් එකයි. හැම තැනම
ඉන්නේ මනුස්සයෝ. හම කළු වුණා සුදු වුණා කෙස්වැටිය කළු වුණා,තඹ
වුණා, ඇස් ගෙඩි කළු වුණා,නිල් වුණා කියලා නෑ. තරහ යනවා, බැන ගන්නවා, ගහගන්නවා,මරාගන්නවා.ඒ
අතරේ හැමෝම ජීවත් වෙන්න දත කනවා.කොතැනත් එකයි."
(පිටුව 18)
"විසල් අහසේ කොහේ හෝ තැනක තාරකාවක වෙස්ගෙන දිලිසෙමින් ආතා පොළොවේ සිටින
කුඩා අප දෙස බලා ඉන්නවා ඇතැයි මට බොහෝ අවස්ථාවල සිතෙයි." (පිටුව 68)
මෙහි
සඳහන් විදුහලෙහි විශේෂ පන්තියට යොමු කරන්නේ අකුරු ලස්සනට ලිවීමට නොහැකි දරුවන්ය. නමුත් අකුරු
ලස්සනට ලිවීමට හැකි දරුවන්ගේ හැකියාව අකුරු ලිවීමට නොහැකි දරුවන් සතු ප්‍රායෝගික
කුසලතාවන්ට සම කළ නොහැකි වග ද සියුම්ව විදාරණය කරමින් වර්තමාන ග්‍රන්ථ මූලික අධ්‍යාපන
ක්‍රමය උපහාසයට ලක් කරන්නට කතුවරයා උත්සාහයක නිරත වනු පෙනේ.සැබෑවටම එය වර්තමාන සමාජයේ දැකගත හැකි සැබෑ යථාර්ථය නොවේ ද?
"හොඳට අකුරු ලියන්න පුරුදු වෙන්න, මුතුහරට
ඉතින් චිත්‍ර අඳින්න එහෙමත් පුළුවන්නේ. ඔයාලගේ නාට්‍ය, සංගීත සන්දර්ශන, චිත්‍රපටි ඒ සෙල්ලම් නතර
කරන්න එපා. ඒව දිගටම කරන්න.වෙසක්
පෙරහැර කරන කොට මං මුතුහරලව සම්බන්ද කර ගන්නම්කෝ, ගිය
සැරේ පුතාලා හදපු මහ බබාට ගොඩක් ප්‍රතිචාර තිබුණා. මට
වැඩක් නැති පීරියඩ්වල මං එන්නම්කො පුතාලගෙ අලුත් පන්තියට." (පිටුව 57/58)
අතීත
ගැමි සමාජය තුළ පැවති කෘෂිකර්මය හා සබැඳි බොහෝ තත්වයන්ට අමතරව අතීත ශ්‍රී ලංකාවේ
ඉතිහාසගත කරුණු රාශියක් අනාවරණය කරන්නට අපොයියාව ග්‍රන්ථය හරහා නිර්මාණකරු උත්සාහ
දරා තිබේ.ඉතිහාසය නැවත කියවීමකට තරම් වූ සමාන ගුණයක් මෙම ග්‍රන්ථය කියවීම තුළින්
අපට දැනෙන්නේ රචකයා දරා ඇති එම උත්සාහය තුළිනි.
"ඔය කුරුවිට කෝරලේ තියෙනවා කියන බටදොඹලෙන , දියවෙන්නේ
උඩුපියන් ගල්ගේ , රත්නපුර රට බෙලිලෙන, නවදුන් කෝරළේ කබරලෙන මයෙ අම්මේ තව තියෙනවා.
ඔව්වා ගැන උඹලගෙ ආතා ඉදිද්දි කියනව මං අහගෙන." (පිටුව
50)
"ඔව්වා හැම එකක්ම පුරාණයේ වුණු දැනුම් තේරුම් තියෙන වටිනා උදවිය කියාපු
කවි. නිකං වචන තිබුණු පලියට කියපුවා නෙවෙයි.කවිකාරය ආන් එහෙම තමයි. උඩින් එකක් කියන ගමන්
යටින් තව එකක් කියනවා. එව්ව මතකේ තියා ගත්තාම අපිට
හිතෙනවා මේ ලෝකේ කොච්චර විශාලද අපි කොච්චර ඇබිත්තන් ද කියලා. එහෙම හිතුනම හිතට කරදරයක් නෑ. මනුස්සයෙක්
එක්ක ගස්කොළන් එක්ක සතාසීපාවා එක්ක වුණත් හොඳින් වාසය කොරන්න පහසුයි."
(පිටුව 75)
නවකතාකරුවාගේ
අනෙකුත් නවකථාවන් සේම මෙම නවකතාව තුළ ද පරිසරය පිළිබඳ දයා දී සෙනෙහසකින් යුතුව
වටිනා කරුණු රැසක් අන්තර්ගතව පවතී.පරිසරයේ පවතින විශිෂ්ටත්වය ඉතා සුවිශිෂ්ට අයුරින් ප්‍රතිනිර්මාණය කර
නවකතාවට අන්තර්ගත කර ලන්නට මේ නිර්මාණවේදියාට හැකියාව ලැබී ඇති බව නොරහසකි.
"මිනිස්සු ගැන හැමදේම දැනගෙනත් ගස් සද්ද නැතුව ඉන්නවා. ගස්වල දෙවිවරු නෑ පැටවුනේ, ඒ ගස් කියන්නෙම දෙවි ගොල්ලො ජාතියක්."
(පිටුව 66)
"කල්පනාවට ගනිල්ලා ඔය පහළ ගලාගෙන යන දොළ පාර,ඕක
පටන් ගන්නෙ පැලවත්තේ ඉහළම කලානේ තියෙන පුංචි උල්පතකින්.
ඒක ඔහේ පහළ ගලාගෙන ගලාගෙන යනවා. ඒත් බලාපල්ලා මුළු ගං
ගොඩැල්ලේ ම කවුරු කවුරුත් ගොවිතැන් කොරන්නේ ඒකෙන්.පුංචියට
පෙනුනට ස්වල්ප වැඩ කන්දරාවක් ද කොරන්නේ." (පිටුව 37)
කතා
නායකයා වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ද අතිශය දුෂ්කර මඟක පැමිණ සාර්ථකත්වය ළඟා කර ගත් පුද්ගලයෙකි.තමාගේ ජීවිත කතාන්දරය යළිත් වරක් ප්‍රතිනිර්මාණය
කරන ඔහු අපොයියාව නවකතාව හරහා උත්සාහවන්තභාවයේ වැදගත්කම මැනවින් ප්‍රත්‍යක්ෂ කරයි.ඔහුට උත්සාහවත්බවේ අපූර්ව පාඩම කියාදුන් මිත්තණියගේ චරිතයටම මෙම
නවකතාවේදී ද උත්සාහවතකමේ වටිනාකම කියා දෙන්නට පවරා තිබීම දැකගත හැක.
"ඔය ඇත්ත දැන් බයිස්කෝප්වල ඉඳලා මුළු ලෝකෙම දන්නවා වුණාට ඉලන්දාරියා
කාලේ කුඹුරු වැඩ කොර කොර ඉඳලා තියෙන්නෙ ඔය රත්නපුරා පැත්තේ ලෙල්ලොපිටිය ලු.සබරගමු මනුස්සයෙක්.ඕං බලාපං එකේ හැටි. බයිස්කොප් රඟපාන්න උපන් හපනෙක්. බලන්න එපායැ
අල්ලපු ගෙදර බයිස්කෝප් එකේ කාරිය. හිනා ගිහිල්ලා මයෙ
හුස්ම හිර නොවී බේරුණේ අනූ නමයෙන්. මඩ හෝදාගත්තාම ගොවිකම රජකමට
සෑහෙනවා කියලා කවුදෝ සුදු මහත්තයා පොතක ලියලා තියෙනවා ලු නේ, ඒ කතාව හරි නේන්නං." (පිටුව 25)
"එහෙනම් තවත් පහසුයි.ග යන්නෙන් පටන් ගන්නවා නං
නම් අකුරු තුනයි නං හිටහං බලන්න කොච්චර හැංගිමුත්තන් සෙල්ලම් කොලත් ඔය වචනය අපි
හොයා ගන්නම එපායැ එපායෑ ඉහළ තියෙන දෙයක් කිව්වනේ එක ගඟුල නෑ ගඩොල නෑ ගණන් නෑ ගවයා
නෑ ගන්ධ....."
තම
ගම් ප්‍රදේශයේ අභිමානය කරගනිමින් කතා ලියන කතාකරුවන් ඇත්තේ අතලොස්සකි. ඒ අතර මහා ගත්
කතුවර මාර්ටින් වික්‍රමසිංහයෝ ද වෙයි.ඔහුගේ උපන් ගම වූ
කොග්ගල ඔහුට විශ්වවිද්‍යාලයක් විය. එමෙන්ම මහින්ද ප්‍රසාද්
මස්ඉඹුලයන්ටද ඔහුගේ උපන් ගම වන මස්ඉඹුල විශ්ව විද්‍යාලයක් වී තිබේ මන්දයත් සාහිත්‍ය
සම්මාන රැසකින්ම පිදුම් ලැබූ ඔහු,තම නවකතා නිර්මාණයන් තුනටම ඔහුගේ ගම් පියස වස්තු විෂය කර ගත් බැවිනි.දේශීය සාහිත්‍යය තුළ ජනප්‍රවාදයන් වරනැගීම ඔහු විසින් ඉටු කරන සුවිශේෂී
කර්තව්‍යයකි.
තවද
මස්ඉඹුලයන් විසින් අපොයියාව නිමාවට පත් කරනු ලබන පහත කවි පදයද ජීවන පරිච්ඡේදයට ගැඹුරු
අරුත් උත්පන්න කරන්නා වූ ඉතා අග්‍රගණ්‍ය නිමාවක් බවද පැවසිය යුතුමය.
"ඔබ ඉදිරියෙහි ඇති ප්‍රහෙලිකාව ගැන සිතන්න,
ඔබට උදව් කිරීමට වචන මග බලාගෙන හිඳී......."
❤️ලස්සනයි මනික ❤
ReplyDelete❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️🥰
ReplyDeleteස්තූතී හැමෝටම
ReplyDelete💖💖💖
ReplyDelete