Wednesday, July 12, 2023

හිරුත් හිම පියල්ලක

"මා කිසිම විටෙක කවියකු වීමට හෝ නවකතාකරුවෙකු වීමට අනවශ්‍ය උත්සාහයක් දැරුවේ නැහැ.මගේ මූලික කාර්යය වුණේ මට පේන දේ ,මට ඇසෙන දේ ,මට හිතෙන දේ , මට දැනෙන දේ පිළිබඳව සවිඥානිකව සිටීම පමණයි.මෙසේ ඉන්නා අතරතුර ඒවා නොයෙක් වෙසින් මගේ හදවත තුළ තෙරපෙන්නට පටන් ගත්තා. එවිට සමහර දේවල් කවි වශයෙන් මගේ අතින් ලියැවුණා. පත්තර පිටුවල ඒවා පළ වුණා.ඒ කවි කියවලා බොහෝ දෙනා මාව හඳුනගත්තා. මගේ කවි ගැන සාකච්ඡා කරා.එතකොට තමයි මටත් හිතුනෙ මටත් කවි ලියන්න පුළුවන් කියලා. ඊට පස්සේ මගේ කවි එකතුවක් හිරුත් හිම පියල්ලක ලෙස පිට වුණා.

(සංලාපය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල)

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිර්මාණවේදියාගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වූයේ හිරුත් හිම පියල්ලක ග්‍රන්ථයයි.සංලාප සාකච්ඡාවේදී ඔහු පවසන පරිදි ඔහු විඳි අත්දැකීම් මුසු කරගනිමින් පුවත්පත්වල ඔහු විසින් පළ කරන ලද කාව්‍යයන් එකතු කොට මෙම කෘතිය එළි දක්වා තිබේ.2010 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙම ග්‍රන්ථය අතිශයින් සංවේදී තේමාවන් රැසක් කවියට නැගුණු කෘතියකි.කවි පොත පුද කර ඇත්තේ කවියාගේ මවුපියන් වෙත ය. එයද අපූරු කවියකිනි.එහි සිත් ගත් කොටසක් මෙසේය.

"...........බිඳෙන වීදුරු රාමුවක මුවාවී

බිත්තියේ සිනාසී නොඉඳ

හද බිතෙහි සදා කැටයම් වූ

ඉසුරුමුණි පෙම් යුවළ

අම්මටයි....තාත්තටයි......"


සිය මවුපියන් හද බිතෙහි සදා කැටයම් වූ ඉසුරුමුණි පෙම් යුවළ ලෙස දැකීමම අපූරු කාව්‍ය සංකල්පනාවකි. මවුපියන්ගේ ප්‍රේමයෙහි සුන්දරත්වය,ගැඹුර මෙන්ම කවියා ඒ බැඳීමට දක්වන ආදරය සහ ගෞරවය ද මෙම කවිය තුළින් ධ්වනිතාර්ථ වන්නේය.

විද්‍යුත් දෘෂ්‍ය මාධ්‍ය හා එළිමහන් වේදිකාව තුළ අද නර්තනය ඉතා ප්‍රසිද්ධ අංගයක් බවට පත්ව තිබේ. ඉඟ සුඟ නළවා, දුහුල් සළු පිළියෙන් සැරසී නර්තනයේ යෙදෙන රූමතියන් කොතෙකුත් අපිට දක්නට ලැබේ.ඔවුන් පිළිබඳව වැඩි දෙනෙක් තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවෙයි. එලෙස නර්තන කණ්ඩායමක මුදලට නර්තනයේ යෙදෙන තරුණියක් තම මවට යවන හසුන් පතක් ලෙස ලියමන කවි පෙලෙන් හිරුත් හිම පියල්ලක කවි ගඟුල ඇරඹේ.නව යොවුන් වියේ සිටින බොහොමයක් තරුණියන්ගේ තාරුණ්‍යයේ බාහිර අලංකාරවත් ජීවිත තුළ සැඟවී ඇති කඳුළු කතාන්දර හඳුනා ගන්නට  ඉවහල් වන කාව්‍ය පන්තියක් ලෙස මෙය පෙන්වා දිය හැක.

 ලී කෙළි ඔළිඳ කෙළි 

මෙහෙත් නැතුවා 

නොවෙයි අම්මේ 

ඒත් ඒවා වෙනස් කර කර 

අලුත් අයිටම්ස් හදනවා


උත්සවත් දැන් වැඩි නිසා 

ෂෝස් දිගටම තියනවා 

නින්ද නෑ රෑ පුරා නටනවා

 උදේ ප්‍රැක්ටිස් කරනවා


ඇගේ හැඩ නැතිවෙයි කියා 

කන්න දෙන්නෑ රෑට බත් 

කෙල්ලො දහයක් ඉන්නවා 

හොරෙන් අපි තේ හදනවා


සිංදු විෂුවල්වලට ගියොතින් 

දාහ ගාණේ ලැබෙනවා

 ඒක අමතර ඒ වුණත් 

විළුඹ තුනටිය රිදෙනවා


අලුත් නැටුමක දුහුල් ඇඳුමට

 වශී වුණ පොහොසත් කෙනෙක්

 තෑගි දෙන්නට හදනවා 

මම එපාමයි කියනවා


දවස් නවයක් ෂෝස් දිගටම 

ඊයෙ මට අර ලෙඩේ හැදුණා

ඒත් අම්මේ ගණන් නොගෙනම

 ගෙදර ගැන හිත හිතා නැටුවා


ඇය නාටිකාංගනාවකි. නමුත් පොළොවේ පය ගසා සිටින දිරිය දියණියකි. ඇය කරන්නේ රැකියාවකි. නමුත් එය තරුණවිය වල්මත් කරවන සුළු අවදානම් පිරුණු රැකියාවකි. මේ තරුණියට උගුල්වල හසු නොවී සිටින්නට දෛවය වී ඇත්තේ අම්මාගේ ආදරයයි.අම්මාගේ ආශීර්වාදය සහ ගුරුහරුකම් නිරන්තරයෙන් සිහිපත් කරයි. ඇගේ පියා මියගොස් ඇති බව "තාත්තගෙ දානෙට බඩුයි" යන පද පේළිය තුළින් පැහැදිලි වෙයි.නාටිකාංගනාවක් වුවද ඇය ජීවිතයේ වටිනාකම තේරුම් ගත් සමාජය ගැන අවබෝධයෙන් සිටින ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණියකි.

අප බොහෝවිට දකින්නේ මිනිසුන්ගේ ජීවිතය මතුපිට පොත්ත පමණි.ඒ මතුපිට ස්වභාවය මත අප කොතරම් අන් අයව විනිශ්‍චය කරනවද ?හෙලා දකිනවා ද? ප්‍රතික්ෂේප කරනවා ද ?මුදලට නර්තනයේ යෙදෙන තරුණියක දෙසත් මානුෂිකව, දයා පෙරදැරි ව බලන්නට කවියා සමත් වී ඇති ආකාරය පුදුම සහගතය. සාහිත්‍ය කලා නිර්මාණයකින් සිදුවිය යුතු සමාජ මෙහෙවරත් මනුෂ්‍යත්වය පුබුදුවාලීම නොවේද?නමුත් මෙහි එකම කවියක හෝ බරපතළ වදන් හරඹ දක්නට නැත.ඉතාම සරල භාෂා රටාවක් කවියට යොදාගෙන ඇත .අපූර්වත්වය ඇත්තේ කවියා තමා තෝරාගත් තේමාව දයාන්විත සිතකින් විනිවිද දකිමින් හෘද සංවේදී ව්‍යාපෘතියට ගොනු කර තිබීමයි. එය මස්ඉඹුල කවියාගේ සුවිශේෂීත්වය යි.

මෙම කවි පොතෙහි "පිළිබිඹුව" නම් කවි කියවන විට ප්‍රථමයෙන් මතකයට නැගුණේ සැලකිය යුතු කාලයක් පුරාවට ඇදෙමින් පවතින්නාවූ ගුරු අරගලය තුළ ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අනවරත අපහාසයන් සමූහයයි. කෙසේ නමුත් මෙම කාර්යය පුරාවටම තමාගේ ජීවන අත්දැකීම් කැටිකොටගත් ගුරුවරයෙකුගේ හෝ ගුරුවරියකගේ උපේක්ෂා සහගතව ප්‍රාර්ථනයන් ගැබ්ව තිබේ.


"කොහෙන්දෝ ලද බත් පිඩක්

 ගෙන දෝතින් 

වාඩිවී පන්තියේ මුල්ලක

භාවනාවකට ද ඔය පුතේ?

 තුරුළු කරගෙන ළමැදට 

පුංචි බත් ඇටවලින් 

නවගුණවැල ද ඔය ගනින්නේ?

 ඉරුණු කමිසයෙන් දැක්කා මං

 අසරණ මාපියනට 

වෛවර්ණ වූ තීන්ත නොමැතියෙන්

කටු සටහනකින්  නිම කල නුඹ 

.........................................

අනෙක් ළමයි 

ගෙදරින් ගේන හිනා 

කිරි ගෑවුණු දත්

 බඩ පිරුණු මූණු 

උඹටත් අයිති පුතේ......"    (පිටු 73/74)

එසේම අප ගතකළ covid සමයේ සමාජයට පෙනෙන සේ ඉස්මතු වූ එක් ගැටලූවක් වූයේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ආදී ක්ෂේත්‍රයන්ගේ තිබෙන්නා වූ නොපෙනෙන කෝණයයි. තමාගේ ජීවිත අවදානමේ නොදමා රූගත කිරීම් නවත්වන ලෙස වන ඉල්ලුම්,රූගත කිරීම් නැවතී ඇති හෙයින් තමාට ජීවත් වීමට මගක් නොමැති බව දක්වන ප්‍රකාශයන්, එම අසරණකම්වලට ආධාර ලබාදීම වැනි විවිධ සිදුවීම් පසුගිය කොවිඩ් සමය පුරාවට අපට දැකගත හැකි විය. ප්‍රේක්ෂකයාට තරු මානසිකත්වය වී ඇත්තා වූ දැවැන්ත සුඛෝපභෝගී ප්‍රතිරූපවල සත්‍යයම එය නොවන බව පසක් වීමට අවැසි සිදුවීම් රාශියක් මෙම කාලය තුළ එලෙස සිදුවිය.කළණ ගුණසේකර වැනි රංගන ශිල්පීන් මීට ඉහත දී මේ ගැන ප්‍රකාශ කළත් "නවක නිළි වරුණ" කවි පෙළින් එම ඇත්ත මීට දශකයකට පමණ පෙර මනාව කියවා ගෙන ඇති බව අවබෝධ වේ.


"රජ කුමරියකට හෙට

රඟන්නට ඇති බැවින්

ලෑලි ඇඳ මත සුවෙන්

වේලාසන නිදන්නී

සිනහවෙන් සුපොහොසත්

තාරකා සිඟන්නි

ලොවම හඩවන මියුරු

ග්ලිසරින් හසඟනී......."       (පිටු 64/65)


"Why men want sex and woman need love"  කෘතියේ දැක්වෙන සංකල්පය අපට බොහෝ සබඳතා හරහා දැකගත හැක.කාන්තාවන් විශ්වාසය පදනම් ව හදවතට මුල්තැන දී කටයුතු කරන අතර පිරිමින් විසින් මොළයට මුල්තැන දී කටයුතු කරමින් විශ්වාසය සංකල්පයට වටිනාකමක් නොදීම ඒ තුළ සිදු වේ."සමනල තටු ගැළවුණු පසු" කාව්‍ය මේ සම්බන්ධයෙන් තවත් මානයන් කැටිව කාන්තාවගේ දෘෂ්ටිකෝණයෙන් කරුණු ගෙන හැර දක්වයි.


"ඔයා එක්කාසු කරයි කියන

 විශ්වාසෙටමයි

ජීවිතේ ලිහා දැම්මෙ

ලෑලි ඇඳ උඩට

...................................

ඇඳුම් ඉරන්න අය

කොපමණ නම් හිටියට

ඉරුණු ඇඳුම් හරිගස්සලා දෙන්න

හිටියේ මට

නුඹ විතරයි අම්මේ අන්තිමට....."    (පිටු 75/76)


මෙම කෘතිය කියවා අවසන් වන විට හැඟී ගියේ කවියකුට සිය නිර්මාණ හරහා කෙතරම් බලපෑමක් අපගේ චින්තනයට කළ හැකිද යන්නයි.ආදරයක නොදකින පැතිකඩ තමා කියවා ගනිමින්, අනෙක් අයට කියවා ගන්නට ඉඩ සලස්වමින්,අපූරුවට සටහන් කරමින් මානවවාදී විශ්වීය ගුණාංගයන් කවියට නඟන කාව්‍ය සංග්‍රහය වශයෙන් මෙම කෘතිය පෙන්වා දිය හැක.හද මනසට දැනෙන, කටපුරා හොඳ යැයි කිව හැකි කවි බහුතරයක් එහි අඩංගු වෙයි .පහරදිය යුත්ත දුටුවිට රිදෙන්නට ම පහර දිය යුතුවක් මෙන්ම ඔසවා තැබිය යුත්ත නොපැකිළව ඔසවා තැබිය යුතුය.අද්‍යතන සිංහල නව්‍ය කාව්‍ය ව්‍යාපාරයේ මහ ඉහළින් බලාපොරොත්තු සහිතව ඔසවා තැබිය හැකි කවියෙක් ලෙස මෙම කාව්‍ය ග්‍රන්ථය හරහා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිර්මාණවේදියා අප ඉදිරියට පැමිණෙයි.

 


📌 සටහන - සවිදු ඉරෝෂන්

 

හිරුත් හිම පියල්ලක

"මා කිසිම විටෙක කවියකු වීමට හෝ නවකතාකරුවෙකු වීමට අනවශ්‍ය උත්සාහයක් දැරුවේ නැහැ.මගේ මූලික කාර්යය වුණේ මට පේන දේ ,මට ඇසෙන දේ ,මට හිතෙන දේ...