සෙංකොට්ටං කියවන ඕනෑම අයෙක් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ මාණික්කාවත කියවීමට සිත් පහළ කර ගන්නේ නිරායාසයෙනි.සෙංකොට්ටං මෙන්ම මාණික්කාවත ද අතීත ශ්‍රී ලංකාවේ ගැමි පරිසරයක් වටා ගෙතුණු සුන්දර නවකතාවකි.තම උපන් ගම හැර දමා වෙනත් ගම්මානයක පදිංචියට යන කෙටිහාමි සහ පිච්චි යුවළගෙන් මෙම කතාව ආරම්භ වේ කතාව කෙටිය. සරලය. සෙංකොට්ටං තුළදී මෙන්ම මෙම කතාව තුළ දී ද සුපුරුදු ගැමි බස් වහර භාවිතා කරන බවක් දක්නට තිබේ. සෙංකොට්ටංහි හමු වූ වීරප්පුලි හේනයාගේ චරිතය ද මෙම කතාව තුළ නැවත දැකගත හැකිය. නමුත් මෙහිදී පාඨකයාට හමුවන්නේ ළමා වීරප්පුලි හේනයා යි.මෙම නවකතා ද්විත්වයම එකිනෙක ඈදා නිර්මාණය කිරීම මඟින් නිර්මාණවේදියාගේ සුවිශේෂ දක්ෂතාවය ප්‍රකට කරයි.සංසාර චාරිකාව පුරාවට අසීමිත දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන සෑම මිනිසෙකුම සිහිගන්වමින් ඒ උතුම් මානව පරපුරට උපහාරයක් වනු වස් ඉහත දැක් වූ මානව චරිත කෙරෙහි දයාදී හදවතකින් ජනිත කළ අග්‍ර ඵලයක් වශයෙන් ග්‍රන්ථාරම්භයේදීම මාණික්කාවත හදුන්වා දීම රචකයා විසින් සිදු කර තිබේ.
"සංසාර කන්නය පුරාවට
මහපොළෝ
කය මෙල්ල කොට සීරුවට
අඳ
දිවි පැතුම් වපුරා එහි ලද
දරු
මුණුපුරන් සරි අස්වනු
මද
සිනා සහිත ව
ඔසවාගෙන
ගොස්
සිටු
මැදුරු දොර දොරකඩ තබා
ආපසු
ගෙදර එන ගමනේ
කවුරුත්
නැති හරියකදී
පිටවුනු
ඒ
සෑම සුසුමක් උදෙසාම
හිස
නමා හමයි මේ සුළං
හිස
නමා හිඳී මේ අකුරු..."
ඇතැම්
ගැමි මිනිසුන් තුළ පවතින අසාමාන්‍ය මිනිසත් බව මෙම නවකතාව තුළ කෙටි හාමිගේ චරිතය
හරහා විශද කිරීමට කතා නායකයා කටයුතු කරයි.මිනිසා පමණක් නොව සත්ත්ව සංහතිය කෙරෙහි ද අපූර්ව මානව දයාවක් ආදී
ගැමියා තුළ පැවතිණි.පහත උපුටන තුළින් ගැමියෙකු වශයෙන්
කෙටිහාමි තුළ පැවති එම අපූරු මානව ගුණධර්මය වැඩිදුරටත් තහවුරු කර ගැනීමට හැකියාව
පවතී.
"හරිම අපූරුයි අලුත් කුඹුරට කොක්කු ඇවිත් , කුඹුරක්
කෙටුවම වැපුරුවා ම කොක්කු ඉන්න වුවමනයි තමයි."
"පැළ වී ඇටයක් කර තබාගත් කුහුඹුවෙකු ලියද්දෙන් ගොඩවී ගමන් ගනී. ඒ පසුපස තවත් උන්ගේ පවුලේ ම කුහුඹු පෙළකි.පිච්චී
යම් ප්‍රතිචාරයක් නොපෙන්නා කෙටිහාමිගේ ඊළඟ ප්‍රතිචාරය තෙක් බියවී බලා උන්නාය. කෙටිහාමි සිනාසුනේය.
ඉන්
අනතුරුව කෙටි හාමි පහත ප්‍රකාශය සිදු කරයි.
"මේ බලාපල්ලකෝ කොරන වැඩක හැටි..!
බලාපල්ලා අස්වැන්න කරතියාගෙන යන අපූරුව, ඕකට ඉතින් එපා
කිය හැක. කුඹුරකින් කොයිතරම් නම් උදවිය බඩ පුරෝගන්නවා ද?
කාරි නෑ මේ උන්ගෙ මහ පොළොව නොවේ."
ගැහැණිය
යනු මෙලොව සිටින දරා ගැනීම අතින් වූ ඉහළම සංකේතයයි. කාන්තාව ධරණී යන අන්වර්ථ නාමයෙන්
හඳුන්වන්නේ ද එබැවිනි. අහසක් සේ වෙනස් වන සමාජ තත්ත්වයන්
දුක්ඛ දෝමනස්සයන් හමුවේ පොරවක් මෙන් දරා සිටින්නට ගැහැනුන්ට ඇත්තේ සුවිශේෂි වූ
හැකියාවකි. කාන්තාවක් සතු නොසැලෙන ආත්ම විශ්වාසය හා
දරාගැනීමේ ශක්තිය හා ගුණදාරීගේ හා පිච්චිගේ චරිත ඔස්සේ නිර්මාණවේදියා මැනවින් ප්‍රකට
කරයි.
වරෙක
කෙටිහාමි විසින් පිච්චි පිළිබඳව සිතන්නේ මෙසේ යි.
"ඇය මහත් බයාදු ගති එකියකි. එසේම අනන්ත අසාධාරණකම්වලට මුහුණ දුන්
ගැහැනියකි. එහෙත් තමාට ජීවත් වීමේ අප්‍රමාණ සවිශක්තිය දී
ඇත්තේ මේ නිහඬ ගැහැනියයි.මේ දින කීපය තුළම ඈ මහන්සිය
නොබලා තමා හා කරට කර වැඩ කළාය. වනාන්තර ජීවිතය කෙතරම්
අවිනිශ්චිත වුවද ඇයට ඒ පිළිබඳව වගක්වත් තිබුණේ නැත.වපුරන
ලද ලියද්ද දෙස බලා ඈ තනිවම සිනාසුනාය."
වසංගත
රෝගයෙන් පීඩා විඳි කෙටිහාමි බැලීමට යන අන්ධ ගුණධාරීගේ චරිතය තුළින් කාන්තාවක් සතු
අසීමාන්තික දරාගැනීමේ ශක්තිය නිර්මාණවේදියා තවදුරටත් පහදා දෙයි.
"මයෙ අප්පච්චී..,මං උඹලා හොයාගෙන හොයාගෙන ආවා. සමන් දෙවි හාමුදුරුවො මා පස්සෙන් ආවා. ලුණු
කැද මුලත් ඇන්න මං හෙමින් හෙමින් අකුල් අස්සෙන් රිංග රිංගා ආවා. අපේ කුඹුර ගත්ත නපුරු උන් මයෙ පස්සා පැත්තට පයින් ඇන්නා. පල ගෙදර කියලා. මං උන්ට හොරෙන් ආව මයි
අප්පුච්චා,මටත් ලෙඩ වෙන්න උවමනායි මයෙ අප්පුච්චේ."
මියගිය
පිච්චිගේ චරිතය පිළිබඳව නිර්මාණකරුවා ප්‍රකාශ කරන්නේ මෙසේ ය.ඒ තුළින් ද
කාන්තාවක් සතු අසමසම දරාගැනීමේ ශක්තිය විශද වෙයි.
"බොහෝ දුර ගෙවා ගෙන අවුත් මහා වන මූකලානේ තමා සමඟ දිවි ඇරැඹූ ගැහැණිය අද
බොහෝ දේ කොට නික්ම ගොස්, මේ වෙල්යාය ගේදොර පටන් සිය
පරම්පරාවේ අවසාන පුරුක වන පුංචි තිලකරත්න දක්වා වූ සෑම සම්පත්තියක් ම පිච්චි නම්
වූ ඒ වටිනා ගැහැනිය නිසා නොවේදැයි කෙටිහාමිට කල්පනා විය.
පිච්චි උතුම් ගැහැනියකි. පළමු දරුවා ලබන්නට අප්‍රමාණ
දුකක් විධි ඇය ඉන් පසුව ගැහැණු සිය ගණනකට වින්නඹු අම්මා වූවාය. ඇය රැස් කරගත් පින් සුළුපටු නොවේ."
සමාජය
ගතික ස්ථරායනය කි.නිරන්තරයෙන් වෙනස්කම්වලට ලක් වීම එහි මූලිකම ලකුණයි. එම සමාජ විපර්යාස තත්ත්වයන් මැනවින් විශද කිරීමට මෙම නවකතාව සමත්ව ඇති
බව කිව හැකිය. මිනිස් සමාජයේ දැකිය හැකි විවිධාකාරයේ
දුර්වලකම් හා හදවත කම්පා කරන සිදුවීම් ද තත්ත්වාකාරයෙන් මවා පෙන්වීමට මස්ඉඹුලයන්ට
මෙම නවකතාව හරහා හැකිවී තිබේ.එමෙන්ම අතීත ජන සමාජයේ
ගැමියන් තුළ පැවැති වටිනා ගුණ ධර්මයන්ගේ පරිහානිය,තාක්ෂණික
ක්‍රමික දියුණුව, දීර්ඝකාලීනව සිදුවන පරිසර හානිය අනෙකුත්
ජනවර්ගවල හා ආගම්වල ව්‍යාප්තිය වැනි විවිධ සමාජ විපර්යාසයන් හුවා දක්වමින් වඩාත්
ප්‍රබලව හැඟවීමට නිර්මාණකරු කටයුතු කරයි.
"කලබල දැන් රට මැද්දට ඇවිදින්. සිංහල කාණ්ඩයක්
කියනවලු සිංහල විතරක් කතා කොලාම ඇතිය කියලා. දෙමළ කාණ්ඩ
කියනවලු, බෑ එහෙම බෑ කියල. ඕන්
ඕකට එකට එක කියෝගෙන තමයි රණ්ඩු ඇවිලිලා තියෙන්නේ. " (පිටුව 132 – 133)
"ඔය කියන හැටියට රේඩියෝ සූත්තරේ කතා කොරන්නේ අකුරු දන්නා කියන කාණ්ඩයක්
නං ඒ කියන දේවල් මනුස්සයන්ට නරක දේවල් වෙන්න බෑනේ.ඒත්
ඔව්වාම අහ අහ ඉඳලා මිනිස්සු කුඹුරට බහින එකත් අමතක කොරල දාවිද මන් දන්නෑ."
(පිටුව 140)
ගැමි
පරිසරයේ සුන්දර බව තත්ත්වාකාරයෙන් පාඨක දෙනෙත් අතර සිත්තම් කිරීමට රචකයා සමත්ව ඇති
බව නවකතාව කියවන ඕනෑම අයකුට වටහාගත හැකිය. එම සුන්දරත්වය එතරම් අපූර්වාන්විතව මවාපෑමට නිර්මාණකරු විසින් යොදාගෙන
ඇති ඔහුටම ආවේණික බස් වහර තුළින් ද මනා පිටිවහලක් ලැබී තිබේ.
"මිනිස්සු හැම කොට්ඨාසයකටම ඇයි බැරි අර කුඹුක් ගස් පෙළ වගේ එකට ගෑවි
ගෑවි සන්තෝසෙන් ඉන්න. මනුස්සයෙකුට කරදරයක් කොරනවා තියා
කූඹියෙක්වත් පා ගන්න තරම් හිතන්න නාකයි.එව්ව මාත් හරි
හරියට ඉගෙන ගත්තේ උඹලගෙ අම්මගෙන්." (පිටුව 136)
"ඒ ගෑනි බඩින් ඉන්න කිරිල්ලියන්ට බිත්තර දාන්න පහසුවෙන්නය කියල
එළඟිතෙලෙන් බත් පිහලා ගුලි හදලා මිදුලේ ලෑල්ලේ තිව්වා. ගොයම
කපනකොට ගොයමේ පුංචි කුරුළු කූඩු හම්බුනාම ඒ තැන්වල වටේට ගොයම ඉතුරු කොරලයි ගොයම
කැපුවේ." (පිටුව 136)
මීට
අමතරව සෙංකොට්ටංහි සේම අතීතකාමී සමාජයේ පැවති කුල ක්‍රමය, පාලන තන්ත්‍රයේ
ස්වභාවය, සන්නිවේදන ක්‍රම හා වෙදහෙදකම් ආදිය පිළිබඳව ද ප්‍රාමාණික
අන්තර්ගතයක් මෙම නවකතා නිර්මාණය ඔස්සේ දැක ගැනීමට හැකියාව පවතී.
"ඇයගේ දෑස් සුවකර ගැනීමට කෙටිහාමි හා පිච්චි නොකළ දෙයක් නැත. තුවාල අතරින් ඇස් සිදුරුවලට ළපටි කහ ගොබ කොටා මිරිකා වත් කළහ.කරල් හැබ පිටි දියකර වත් කළහ. කොහොඹ කොළ කොටා
වත් කළහ." (පිටුව 52)
"කොරනෙල් විභාගය පැවැත්වෙමින් තිබේ. යුරෝපීය
ඇඳුමෙන් සැරසී රක්වාන සුදු මහේස්ත්‍රාත්වරයා සහ තවත් නිලධාරීහු කිහිපදෙනෙක් අමුණ
අසල කොළ අතුවලින් වට කරන ලද තැනක මිනිය කපති.ලන්සි පොලිස් සැරයන්වරයෙක් හා කොච්චි
රාළහාමිලා කිහිප දෙනෙක් අමුණ උඩ රැඳී හිදිති. කලින් දැක
නැති මේ නානාප්‍රකාර වූ බලවත් අමුත්තන්
දැකීමෙන් ගම්මු පුදුමයටත් බියටත් පත් වී හිදිති. ආරච්චි
උන්නාන්සේ ගම්මුන්ට ඇසෙන්නට සද්දෙන් කෑ ගසන්න විය." (පිටුව 110)
මාණික්කාවත
මෙබඳු වූ කරුණු රැසකින් සුපෝෂිත නවකතාවක් වුවද එය දීර්ඝ නවකතාවක් නොවීමද මෙම
නවකතාව තුළ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි.එය මෙම ග්‍රන්ථය කෙරෙහි වූ පාඨක අභිරුචිය තවදුරටත් වර්ධනය කරන බව
නොරහසකි.මෙම නවකතාව හරහා සැබෑ ඉතිහාස කරුණු හා මුහුවෙමින්
කතාවක් ගොඩනැගීමට ලේඛකයා තුළ වූ විශිෂ්ට පරිකල්පන ශක්තිය ඉස්මතු කර දක්වයි. වැදගත්ම කරුණ වන්නේ මෙම රචනයෙහි අන්තර්ගත සංකේතයන් වටහා ගැනීමට නම් ඊට
සමවැදී සංවේදීව මෙම නවකතාව කියවීම අනිවාර්ය වන බවයි.
නැතහොත් මෙහි පවතින සැබෑ සංකේතාර්ථ ජනනය කර ගැනීම උගහටය. සංකේත
භාවිතය ඔස්සේ නවකතාව සුවිශේෂී හැඩය ලබා ගන්නා අතර,කතාව
පුරාවට එවැනි සංකේත භාවිතා කර ඇති බව
හොඳින් කියවන්නෙකුට අවබෝධ කරගත හැක.
"මේ බිමට පත් පළමු මිනිස් ප්‍රාණීන් දෙපළ විසින් බිම් සකසා, දිවි අරඹා, සංසාර දිවි පොටට අමුණන ලද පළමු
ජීව වස්තුව එසේ ඉරණම් හර නොලබාම මහපොළොව පතල් පතුලක ගැඹුරේ සැඟවී යද්දී...."
(පිටුව 157)
"අහස් ඉමේ ගෑවෙන කඳු පන්තීන් අතර දුර ම ඒවා ආතලාගේ නිලෙන්ද, ළඟම ඒවා තාත්තලාගේ අයියලාගේ කොළෙන් ද, ඈත දුර
බැස යන හිරුට අයත් පෙදෙස පොල්ගම්පොල සහෝදරයන්ගේ රතෙන් ද යුතුව දිස්වනු පෙනේ."
(පිටුව 165)
පසුකාලීනව
මෙම නවකතාව ටෙලි සිනමා වෘතාන්තයක් බවට පත්විය.එහි තිර පිටපත ද මහින්ද ප්‍රසාද්
මස්ඉඹුලයන් විසින්ම රචනා කරන්නට යෙදුනි.
එහෙත් මාණික්කාවත මෙතරම් කරුණු රැසක් අනාවරණය කරන ලාංකේය ගැමි ජීවන සුවඳ වපුරාලන බිජුවටක් වුවද සෙංකොට්ටං නැවත කියවීමක් හා සමාන බවක් හැඟී යන හෙයින් යම් ඒකාකාරී බවක් පෙන්නුම් කරනු ලබන බවද ඇතැම් පාඨක විචාරක අදහසයි.
❤️🥰
ReplyDelete❣️🤟
ReplyDelete❤️😊
ReplyDelete❤😍
ReplyDeleteස්තූතී හැමෝටම ❤🙏
ReplyDelete