Wednesday, July 12, 2023

හිරුත් හිම පියල්ලක

"මා කිසිම විටෙක කවියකු වීමට හෝ නවකතාකරුවෙකු වීමට අනවශ්‍ය උත්සාහයක් දැරුවේ නැහැ.මගේ මූලික කාර්යය වුණේ මට පේන දේ ,මට ඇසෙන දේ ,මට හිතෙන දේ , මට දැනෙන දේ පිළිබඳව සවිඥානිකව සිටීම පමණයි.මෙසේ ඉන්නා අතරතුර ඒවා නොයෙක් වෙසින් මගේ හදවත තුළ තෙරපෙන්නට පටන් ගත්තා. එවිට සමහර දේවල් කවි වශයෙන් මගේ අතින් ලියැවුණා. පත්තර පිටුවල ඒවා පළ වුණා.ඒ කවි කියවලා බොහෝ දෙනා මාව හඳුනගත්තා. මගේ කවි ගැන සාකච්ඡා කරා.එතකොට තමයි මටත් හිතුනෙ මටත් කවි ලියන්න පුළුවන් කියලා. ඊට පස්සේ මගේ කවි එකතුවක් හිරුත් හිම පියල්ලක ලෙස පිට වුණා.

(සංලාපය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල)

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිර්මාණවේදියාගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වූයේ හිරුත් හිම පියල්ලක ග්‍රන්ථයයි.සංලාප සාකච්ඡාවේදී ඔහු පවසන පරිදි ඔහු විඳි අත්දැකීම් මුසු කරගනිමින් පුවත්පත්වල ඔහු විසින් පළ කරන ලද කාව්‍යයන් එකතු කොට මෙම කෘතිය එළි දක්වා තිබේ.2010 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙම ග්‍රන්ථය අතිශයින් සංවේදී තේමාවන් රැසක් කවියට නැගුණු කෘතියකි.කවි පොත පුද කර ඇත්තේ කවියාගේ මවුපියන් වෙත ය. එයද අපූරු කවියකිනි.එහි සිත් ගත් කොටසක් මෙසේය.

"...........බිඳෙන වීදුරු රාමුවක මුවාවී

බිත්තියේ සිනාසී නොඉඳ

හද බිතෙහි සදා කැටයම් වූ

ඉසුරුමුණි පෙම් යුවළ

අම්මටයි....තාත්තටයි......"


සිය මවුපියන් හද බිතෙහි සදා කැටයම් වූ ඉසුරුමුණි පෙම් යුවළ ලෙස දැකීමම අපූරු කාව්‍ය සංකල්පනාවකි. මවුපියන්ගේ ප්‍රේමයෙහි සුන්දරත්වය,ගැඹුර මෙන්ම කවියා ඒ බැඳීමට දක්වන ආදරය සහ ගෞරවය ද මෙම කවිය තුළින් ධ්වනිතාර්ථ වන්නේය.

විද්‍යුත් දෘෂ්‍ය මාධ්‍ය හා එළිමහන් වේදිකාව තුළ අද නර්තනය ඉතා ප්‍රසිද්ධ අංගයක් බවට පත්ව තිබේ. ඉඟ සුඟ නළවා, දුහුල් සළු පිළියෙන් සැරසී නර්තනයේ යෙදෙන රූමතියන් කොතෙකුත් අපිට දක්නට ලැබේ.ඔවුන් පිළිබඳව වැඩි දෙනෙක් තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවෙයි. එලෙස නර්තන කණ්ඩායමක මුදලට නර්තනයේ යෙදෙන තරුණියක් තම මවට යවන හසුන් පතක් ලෙස ලියමන කවි පෙලෙන් හිරුත් හිම පියල්ලක කවි ගඟුල ඇරඹේ.නව යොවුන් වියේ සිටින බොහොමයක් තරුණියන්ගේ තාරුණ්‍යයේ බාහිර අලංකාරවත් ජීවිත තුළ සැඟවී ඇති කඳුළු කතාන්දර හඳුනා ගන්නට  ඉවහල් වන කාව්‍ය පන්තියක් ලෙස මෙය පෙන්වා දිය හැක.

 ලී කෙළි ඔළිඳ කෙළි 

මෙහෙත් නැතුවා 

නොවෙයි අම්මේ 

ඒත් ඒවා වෙනස් කර කර 

අලුත් අයිටම්ස් හදනවා


උත්සවත් දැන් වැඩි නිසා 

ෂෝස් දිගටම තියනවා 

නින්ද නෑ රෑ පුරා නටනවා

 උදේ ප්‍රැක්ටිස් කරනවා


ඇගේ හැඩ නැතිවෙයි කියා 

කන්න දෙන්නෑ රෑට බත් 

කෙල්ලො දහයක් ඉන්නවා 

හොරෙන් අපි තේ හදනවා


සිංදු විෂුවල්වලට ගියොතින් 

දාහ ගාණේ ලැබෙනවා

 ඒක අමතර ඒ වුණත් 

විළුඹ තුනටිය රිදෙනවා


අලුත් නැටුමක දුහුල් ඇඳුමට

 වශී වුණ පොහොසත් කෙනෙක්

 තෑගි දෙන්නට හදනවා 

මම එපාමයි කියනවා


දවස් නවයක් ෂෝස් දිගටම 

ඊයෙ මට අර ලෙඩේ හැදුණා

ඒත් අම්මේ ගණන් නොගෙනම

 ගෙදර ගැන හිත හිතා නැටුවා


ඇය නාටිකාංගනාවකි. නමුත් පොළොවේ පය ගසා සිටින දිරිය දියණියකි. ඇය කරන්නේ රැකියාවකි. නමුත් එය තරුණවිය වල්මත් කරවන සුළු අවදානම් පිරුණු රැකියාවකි. මේ තරුණියට උගුල්වල හසු නොවී සිටින්නට දෛවය වී ඇත්තේ අම්මාගේ ආදරයයි.අම්මාගේ ආශීර්වාදය සහ ගුරුහරුකම් නිරන්තරයෙන් සිහිපත් කරයි. ඇගේ පියා මියගොස් ඇති බව "තාත්තගෙ දානෙට බඩුයි" යන පද පේළිය තුළින් පැහැදිලි වෙයි.නාටිකාංගනාවක් වුවද ඇය ජීවිතයේ වටිනාකම තේරුම් ගත් සමාජය ගැන අවබෝධයෙන් සිටින ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණියකි.

අප බොහෝවිට දකින්නේ මිනිසුන්ගේ ජීවිතය මතුපිට පොත්ත පමණි.ඒ මතුපිට ස්වභාවය මත අප කොතරම් අන් අයව විනිශ්‍චය කරනවද ?හෙලා දකිනවා ද? ප්‍රතික්ෂේප කරනවා ද ?මුදලට නර්තනයේ යෙදෙන තරුණියක දෙසත් මානුෂිකව, දයා පෙරදැරි ව බලන්නට කවියා සමත් වී ඇති ආකාරය පුදුම සහගතය. සාහිත්‍ය කලා නිර්මාණයකින් සිදුවිය යුතු සමාජ මෙහෙවරත් මනුෂ්‍යත්වය පුබුදුවාලීම නොවේද?නමුත් මෙහි එකම කවියක හෝ බරපතළ වදන් හරඹ දක්නට නැත.ඉතාම සරල භාෂා රටාවක් කවියට යොදාගෙන ඇත .අපූර්වත්වය ඇත්තේ කවියා තමා තෝරාගත් තේමාව දයාන්විත සිතකින් විනිවිද දකිමින් හෘද සංවේදී ව්‍යාපෘතියට ගොනු කර තිබීමයි. එය මස්ඉඹුල කවියාගේ සුවිශේෂීත්වය යි.

මෙම කවි පොතෙහි "පිළිබිඹුව" නම් කවි කියවන විට ප්‍රථමයෙන් මතකයට නැගුණේ සැලකිය යුතු කාලයක් පුරාවට ඇදෙමින් පවතින්නාවූ ගුරු අරගලය තුළ ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අනවරත අපහාසයන් සමූහයයි. කෙසේ නමුත් මෙම කාර්යය පුරාවටම තමාගේ ජීවන අත්දැකීම් කැටිකොටගත් ගුරුවරයෙකුගේ හෝ ගුරුවරියකගේ උපේක්ෂා සහගතව ප්‍රාර්ථනයන් ගැබ්ව තිබේ.


"කොහෙන්දෝ ලද බත් පිඩක්

 ගෙන දෝතින් 

වාඩිවී පන්තියේ මුල්ලක

භාවනාවකට ද ඔය පුතේ?

 තුරුළු කරගෙන ළමැදට 

පුංචි බත් ඇටවලින් 

නවගුණවැල ද ඔය ගනින්නේ?

 ඉරුණු කමිසයෙන් දැක්කා මං

 අසරණ මාපියනට 

වෛවර්ණ වූ තීන්ත නොමැතියෙන්

කටු සටහනකින්  නිම කල නුඹ 

.........................................

අනෙක් ළමයි 

ගෙදරින් ගේන හිනා 

කිරි ගෑවුණු දත්

 බඩ පිරුණු මූණු 

උඹටත් අයිති පුතේ......"    (පිටු 73/74)

එසේම අප ගතකළ covid සමයේ සමාජයට පෙනෙන සේ ඉස්මතු වූ එක් ගැටලූවක් වූයේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ආදී ක්ෂේත්‍රයන්ගේ තිබෙන්නා වූ නොපෙනෙන කෝණයයි. තමාගේ ජීවිත අවදානමේ නොදමා රූගත කිරීම් නවත්වන ලෙස වන ඉල්ලුම්,රූගත කිරීම් නැවතී ඇති හෙයින් තමාට ජීවත් වීමට මගක් නොමැති බව දක්වන ප්‍රකාශයන්, එම අසරණකම්වලට ආධාර ලබාදීම වැනි විවිධ සිදුවීම් පසුගිය කොවිඩ් සමය පුරාවට අපට දැකගත හැකි විය. ප්‍රේක්ෂකයාට තරු මානසිකත්වය වී ඇත්තා වූ දැවැන්ත සුඛෝපභෝගී ප්‍රතිරූපවල සත්‍යයම එය නොවන බව පසක් වීමට අවැසි සිදුවීම් රාශියක් මෙම කාලය තුළ එලෙස සිදුවිය.කළණ ගුණසේකර වැනි රංගන ශිල්පීන් මීට ඉහත දී මේ ගැන ප්‍රකාශ කළත් "නවක නිළි වරුණ" කවි පෙළින් එම ඇත්ත මීට දශකයකට පමණ පෙර මනාව කියවා ගෙන ඇති බව අවබෝධ වේ.


"රජ කුමරියකට හෙට

රඟන්නට ඇති බැවින්

ලෑලි ඇඳ මත සුවෙන්

වේලාසන නිදන්නී

සිනහවෙන් සුපොහොසත්

තාරකා සිඟන්නි

ලොවම හඩවන මියුරු

ග්ලිසරින් හසඟනී......."       (පිටු 64/65)


"Why men want sex and woman need love"  කෘතියේ දැක්වෙන සංකල්පය අපට බොහෝ සබඳතා හරහා දැකගත හැක.කාන්තාවන් විශ්වාසය පදනම් ව හදවතට මුල්තැන දී කටයුතු කරන අතර පිරිමින් විසින් මොළයට මුල්තැන දී කටයුතු කරමින් විශ්වාසය සංකල්පයට වටිනාකමක් නොදීම ඒ තුළ සිදු වේ."සමනල තටු ගැළවුණු පසු" කාව්‍ය මේ සම්බන්ධයෙන් තවත් මානයන් කැටිව කාන්තාවගේ දෘෂ්ටිකෝණයෙන් කරුණු ගෙන හැර දක්වයි.


"ඔයා එක්කාසු කරයි කියන

 විශ්වාසෙටමයි

ජීවිතේ ලිහා දැම්මෙ

ලෑලි ඇඳ උඩට

...................................

ඇඳුම් ඉරන්න අය

කොපමණ නම් හිටියට

ඉරුණු ඇඳුම් හරිගස්සලා දෙන්න

හිටියේ මට

නුඹ විතරයි අම්මේ අන්තිමට....."    (පිටු 75/76)


මෙම කෘතිය කියවා අවසන් වන විට හැඟී ගියේ කවියකුට සිය නිර්මාණ හරහා කෙතරම් බලපෑමක් අපගේ චින්තනයට කළ හැකිද යන්නයි.ආදරයක නොදකින පැතිකඩ තමා කියවා ගනිමින්, අනෙක් අයට කියවා ගන්නට ඉඩ සලස්වමින්,අපූරුවට සටහන් කරමින් මානවවාදී විශ්වීය ගුණාංගයන් කවියට නඟන කාව්‍ය සංග්‍රහය වශයෙන් මෙම කෘතිය පෙන්වා දිය හැක.හද මනසට දැනෙන, කටපුරා හොඳ යැයි කිව හැකි කවි බහුතරයක් එහි අඩංගු වෙයි .පහරදිය යුත්ත දුටුවිට රිදෙන්නට ම පහර දිය යුතුවක් මෙන්ම ඔසවා තැබිය යුත්ත නොපැකිළව ඔසවා තැබිය යුතුය.අද්‍යතන සිංහල නව්‍ය කාව්‍ය ව්‍යාපාරයේ මහ ඉහළින් බලාපොරොත්තු සහිතව ඔසවා තැබිය හැකි කවියෙක් ලෙස මෙම කාව්‍ය ග්‍රන්ථය හරහා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිර්මාණවේදියා අප ඉදිරියට පැමිණෙයි.

 


📌 සටහන - සවිදු ඉරෝෂන්

 

Sunday, June 11, 2023

අපොයියාව

 නාගරීකරණයෙන් හෙම්බත් වී නිමක් නැති වැඩ කන්දරාවක් නිසා ආතතියට පත් සිත් සුවපත් කිරීමට ගැමි සුවඳ වූ කලී මහෝෂධයකි. එලෙස ගැමි සුවඳ විහිදුවාලන අපූර්ව නිර්මාණයක් වශයෙන් අපොයියාව පෙන්වා දිය හැකි ය.එය කියවීම තුළින් ගැඹුරු ආශ්වාදයක් ලබා ගත හැකි වන පරිදි ඉතා සරල සිදුවීමක් ප්‍රසාරණය කරමින් නොහිතන මානයක් ඔස්සේ ගොඩනැගෙන අපූරු ප්‍රබන්ධයක් ලෙස මෙම කෘතිය පාඨක සම්භාවනාවට පාත්‍ර වේ.එය ශ්‍රී ලංකාවේ ඉපැරැණි ග්‍රාමීය වටපිටාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමකි. වයස් භේදයකින් තොරව කියවිය හැකි පොතක් වුවත්, මෙය වර්තමාන දරු පරපුරට මා හැගි විශ්වකෝෂයක් වන බව නොකිවමනාය.තාක්ෂණික ලෝකයේ අතරමං වූ දරුවන්ට ගැමි ජීවන මිහිර,චාරිත්‍ර වාරිත්‍ර,සරල දිවි පැවැත්ම කියා දෙන්නට උපන් සමතෙක් ලෙස අපොයියාව විවරණය කළ හැකිය. වත්මන් විෂය නිර්දේශයේ සඳහන් ගැමි සිරිත් විරිත් හා කෘෂිකර්මාන්තය පිළිබඳ විස්තර සෙවීමට දෙමව්පියන් යූටියුබ් නාලිකා පීරණ අයුරු අත්දැකීමෙන් දැක ඇති මට සිතෙන්නේ කතුවරයා විසින් ශිෂ්‍යත්ව විභාගයට නිසැක ලකුණු කිහිපයක් වැනි තේමාවක් නවකතාව සඳහා යොදා ගත්තේ නම් තවදුරටත් මෙම කෘතිය හරහා ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගැනීමට හැකියාව ඇති බවයි.එතරම් ම ගැමි සාහිත්‍ය හා කෘෂිකර්මාන්තයට සමීප කරුණු රැසක් මෙම කෘතිය හරහා අනාවරණය කරයි.

වචන කිහිපයක ප්‍රහේලිකාවක් පිරවීමට තම මිත්තණිය හා එකතු වන මුතුහර නම් දරුවා වටා ගෙතුණු සරල කතාන්දරයක් නවකතාවට වස්තු විෂය වී තිබුණ ද තිබුණ ද ඊට වඩා ගැඹුරු සමාජ පණිවිඩයක් අභ්‍යන්තරයේ සගවා තබන්නට කතුවරයා උත්සුකව ඇති සෙයකි.පැරණි ගැමියන් සතු වූ ප්‍රායෝගික දැනුම් සම්භාරය වත්මන් උගතුන්ගේ කෘතීම බුද්ධියට අභියෝග කරන අයුරු මෙහි ව්‍යංගාර්ථයෙන් සඟවා තිබේ.

"ඔය බාසා උප්පරවැට්ටි හරියටම රාත්තිරි වෙල් එළිය වාගේ. නානාප්‍රකාර සද්ද දුරින් ඇහෙනවා, ළඟින් ඇහෙනවා, අඩුවෙවී වැඩිවෙවි ඇහෙනවා,හයියෙන් කිව්වොත් එකක්, හෙමින් කිව්වොත් තව එකක්, හඳ තියෙන දාට තියන සද්දෙ නෙවෙයි හද නැති දාට, වැහි කාලෙට එකක්,........ මැඩියෝ උගෙ විදිහ, උලමා උගෙ විදිහ, පළගැටියා උගේ විදිහ මෙව්වා අපට දැනෙන්නේ එක එක විදිහට, හිඟලා එක විදිහක් ,දෙමළ තව විදිහක්,ඉංගිරිසි තවත් විදිහක් හැබැයි ඔක්කොම ඈයෝ  කියන්න තනන්නේ එකම දේ, ඒ හින්දා උඹලට ඉංගිරිසි උගන්වන දිසානායක ඉස්කෝලෙ මහත්තයගෙන් අහල බලපං අපි පෙරලාපු  පදේ හරිද කියල." (පිටුව 19)

"ඕකට මොකක් හරි හොඳ උත්තරයක් ඇති, පුරස්නෙ අහල ඇත්තෙ අපි මුලා වෙන පිළිවෙලට,ආං ඒ වෙලාවට පුරස්නෙ අස්සෙම දැවටි දැවටි නොයිද ටිකක් නිවිහැනහිල්ලේ කල්පනා කරන්න ඕනි." (පිටුව 27)

ඇතැම් විටෙක මෙම කතාව සඳහා මිත්තණියක් සම්බන්ධ කරන්නේ මස්ඉඹුලයන්ගේ සාහිත කෙත අස්වැද්දුමට ඔහුගේ මිත්තණිය කළ සුවිසල් කාර්යභාරය සිහිගන්වනු වස් ද විය හැකිය.මෙම මිත්තණිය පාසල් අධ්‍යාපනයක් නොලැබුවද, වටපිටාවෙන් හා මුඛ පරම්පරාවෙන් පැමිණි දැනුමින් සන්නද්ධව විශ්වකෝෂයක් ලෙස කතාව තුළ නිරූපිත ය. එය ඔහුගේ කිරිඅම්මා පමණක් නොව සමස්ත වැඩිහිටි ගැමි සමාජයම නිරූපණය කරන්නකි. එසේ හෙයින් මෙය බැලූ බැල්මට සරල ගැමි කතාවක් ලෙස පෙනුනද අභ්‍යන්තරය ඉතා ගැඹුරු ධර්මතාවකින් සන්නද්ධ ව ඇති බව කිව හැකිය.

  "බලාපන් ඒ මිනිස්සු කැලෑ සත්තු වගේ රණ්ඩු සරුවල් වෙනවා,රට රාජ්‍යවල් අල්ලන්න වගේ. ඔය බොහෝම පුංචි දේවල්වලට ඕව කතාබහ කරලා බේරුමක් කරගන්න බැරිකමක් නෑනෙ. බලහන් අර පොරි අහුර වගේ ඉන්න සුදු ලමිස්සි,ඔය රොබින් හුට් කියන ඉලන්දාරියා එක්ක කැලෑ වැදිලා විඳින දුකක්.ඔය ගහන කඩු පාරක් විදින හී පාරක් ඇත්තටම වැදුනා, ආයෙ උන් කතරගම දෙයියන්ට කියන්නද? කොහෙත් එකයි ළමයිනේ දේස දීපංකරේත් එකයි මේ ලංකාවෙත් එකයි. හැම තැනම ඉන්නේ මනුස්සයෝ. හම කළු වුණා සුදු වුණා කෙස්වැටිය කළු වුණා,තඹ වුණා, ඇස් ගෙඩි කළු වුණා,නිල් වුණා කියලා නෑ. තරහ යනවා, බැන ගන්නවා, ගහගන්නවා,මරාගන්නවා.ඒ අතරේ හැමෝම ජීවත් වෙන්න දත කනවා.කොතැනත් එකයි." (පිටුව 18)

"විසල් අහසේ කොහේ හෝ තැනක තාරකාවක වෙස්ගෙන දිලිසෙමින් ආතා පොළොවේ සිටින කුඩා අප දෙස බලා ඉන්නවා ඇතැයි මට බොහෝ අවස්ථාවල සිතෙයි." (පිටුව 68)

මෙහි සඳහන් විදුහලෙහි විශේෂ පන්තියට යොමු කරන්නේ අකුරු ලස්සනට ලිවීමට නොහැකි දරුවන්ය. නමුත් අකුරු ලස්සනට ලිවීමට හැකි දරුවන්ගේ හැකියාව අකුරු ලිවීමට නොහැකි දරුවන් සතු ප්‍රායෝගික කුසලතාවන්ට සම කළ නොහැකි වග ද සියුම්ව විදාරණය කරමින් වර්තමාන ග්‍රන්ථ මූලික අධ්‍යාපන ක්‍රමය උපහාසයට ලක් කරන්නට කතුවරයා උත්සාහයක නිරත වනු පෙනේ.සැබෑවටම එය වර්තමාන සමාජයේ දැකගත හැකි සැබෑ යථාර්ථය නොවේ ද?

"හොඳට අකුරු ලියන්න පුරුදු වෙන්න, මුතුහරට ඉතින් චිත්‍ර අඳින්න එහෙමත් පුළුවන්නේ. ඔයාලගේ නාට්‍ය, සංගීත සන්දර්ශන, චිත්‍රපටි ඒ සෙල්ලම් නතර කරන්න එපා. ඒව දිගටම කරන්න.වෙසක් පෙරහැර කරන කොට මං මුතුහරලව සම්බන්ද කර ගන්නම්කෝ, ගිය සැරේ පුතාලා හදපු මහ බබාට ගොඩක් ප්‍රතිචාර තිබුණා. මට වැඩක් නැති පීරියඩ්වල මං එන්නම්කො පුතාලගෙ අලුත් පන්තියට." (පිටුව 57/58)

අතීත ගැමි සමාජය තුළ පැවති කෘෂිකර්මය හා සබැඳි බොහෝ තත්වයන්ට අමතරව අතීත ශ්‍රී ලංකාවේ ඉතිහාසගත කරුණු රාශියක් අනාවරණය කරන්නට අපොයියාව ග්‍රන්ථය හරහා නිර්මාණකරු උත්සාහ දරා තිබේ.ඉතිහාසය නැවත කියවීමකට තරම් වූ සමාන ගුණයක් මෙම ග්‍රන්ථය කියවීම තුළින් අපට දැනෙන්නේ රචකයා දරා ඇති එම උත්සාහය තුළිනි.

"ඔය කුරුවිට කෝරලේ තියෙනවා කියන බටදොඹලෙන , දියවෙන්නේ උඩුපියන් ගල්ගේ , රත්නපුර රට බෙලිලෙන, නවදුන් කෝරළේ කබරලෙන මයෙ අම්මේ තව තියෙනවා. ඔව්වා ගැන උඹලගෙ ආතා ඉදිද්දි කියනව මං අහගෙන." (පිටුව 50)

"ඔව්වා හැම එකක්ම පුරාණයේ වුණු දැනුම් තේරුම් තියෙන වටිනා උදවිය කියාපු කවි. නිකං වචන තිබුණු පලියට කියපුවා නෙවෙයි.කවිකාරය ආන් එහෙම තමයි. උඩින් එකක් කියන ගමන් යටින් තව එකක් කියනවා. එව්ව මතකේ තියා ගත්තාම අපිට හිතෙනවා මේ ලෝකේ කොච්චර විශාලද අපි කොච්චර ඇබිත්තන් ද කියලා. එහෙම හිතුනම හිතට කරදරයක් නෑ. මනුස්සයෙක් එක්ක ගස්කොළන් එක්ක සතාසීපාවා එක්ක වුණත් හොඳින් වාසය කොරන්න පහසුයි." (පිටුව 75)

නවකතාකරුවාගේ අනෙකුත් නවකථාවන් සේම මෙම නවකතාව තුළ ද පරිසරය පිළිබඳ දයා දී සෙනෙහසකින් යුතුව වටිනා කරුණු රැසක් අන්තර්ගතව පවතී.පරිසරයේ පවතින විශිෂ්ටත්වය ඉතා සුවිශිෂ්ට අයුරින් ප්‍රතිනිර්මාණය කර නවකතාවට අන්තර්ගත කර ලන්නට මේ නිර්මාණවේදියාට හැකියාව ලැබී ඇති බව නොරහසකි.

"මිනිස්සු ගැන හැමදේම දැනගෙනත් ගස් සද්ද නැතුව ඉන්නවා. ගස්වල දෙවිවරු නෑ පැටවුනේ, ඒ ගස් කියන්නෙම දෙවි ගොල්ලො ජාතියක්." (පිටුව 66)

"කල්පනාවට ගනිල්ලා ඔය පහළ ගලාගෙන යන දොළ පාර,ඕක පටන් ගන්නෙ පැලවත්තේ ඉහළම කලානේ තියෙන පුංචි උල්පතකින්. ඒක ඔහේ පහළ ගලාගෙන ගලාගෙන යනවා. ඒත් බලාපල්ලා මුළු ගං ගොඩැල්ලේ ම කවුරු කවුරුත් ගොවිතැන් කොරන්නේ ඒකෙන්.පුංචියට පෙනුනට ස්වල්ප වැඩ කන්දරාවක් ද කොරන්නේ." (පිටුව 37)

කතා නායකයා වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ද අතිශය දුෂ්කර මඟක පැමිණ සාර්ථකත්වය ළඟා කර ගත්  පුද්ගලයෙකි.තමාගේ ජීවිත කතාන්දරය යළිත් වරක් ප්‍රතිනිර්මාණය කරන ඔහු අපොයියාව නවකතාව හරහා උත්සාහවන්තභාවයේ වැදගත්කම මැනවින් ප්‍රත්‍යක්ෂ කරයි.ඔහුට උත්සාහවත්බවේ අපූර්ව පාඩම කියාදුන් මිත්තණියගේ චරිතයටම මෙම නවකතාවේදී ද උත්සාහවතකමේ වටිනාකම කියා දෙන්නට පවරා තිබීම දැකගත හැක.

"ඔය ඇත්ත දැන් බයිස්කෝප්වල ඉඳලා මුළු ලෝකෙම දන්නවා වුණාට ඉලන්දාරියා කාලේ කුඹුරු වැඩ කොර කොර ඉඳලා තියෙන්නෙ ඔය රත්නපුරා පැත්තේ ලෙල්ලොපිටිය ලු.සබරගමු මනුස්සයෙක්.ඕං බලාපං එකේ හැටි. බයිස්කොප් රඟපාන්න උපන් හපනෙක්. බලන්න එපායැ අල්ලපු ගෙදර බයිස්කෝප් එකේ කාරිය. හිනා ගිහිල්ලා මයෙ හුස්ම හිර නොවී බේරුණේ අනූ නමයෙන්. මඩ හෝදාගත්තාම ගොවිකම රජකමට සෑහෙනවා කියලා කවුදෝ සුදු මහත්තයා පොතක ලියලා තියෙනවා ලු නේ, ඒ කතාව හරි නේන්නං." (පිටුව 25)

"එහෙනම් තවත් පහසුයි.ග යන්නෙන් පටන් ගන්නවා නං නම් අකුරු තුනයි නං හිටහං බලන්න කොච්චර හැංගිමුත්තන් සෙල්ලම් කොලත් ඔය වචනය අපි හොයා ගන්නම එපායැ එපායෑ ඉහළ තියෙන දෙයක් කිව්වනේ එක ගඟුල නෑ ගඩොල නෑ ගණන් නෑ ගවයා නෑ ගන්ධ....."

තම ගම් ප්‍රදේශයේ අභිමානය කරගනිමින් කතා ලියන කතාකරුවන් ඇත්තේ අතලොස්සකි. ඒ අතර මහා ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහයෝ ද වෙයි.ඔහුගේ උපන් ගම වූ කොග්ගල ඔහුට විශ්වවිද්‍යාලයක් විය. එමෙන්ම මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ටද ඔහුගේ උපන් ගම වන මස්ඉඹුල විශ්ව විද්‍යාලයක් වී තිබේ මන්දයත් සාහිත්‍ය සම්මාන රැසකින්ම පිදුම් ලැබූ ඔහු,තම නවකතා නිර්මාණයන් තුනටම ඔහුගේ ගම් පියස  වස්තු විෂය කර ගත් බැවිනි.දේශීය සාහිත්‍යය තුළ ජනප්‍රවාදයන් වරනැගීම ඔහු විසින් ඉටු කරන සුවිශේෂී කර්තව්‍යයකි.

තවද මස්ඉඹුලයන් විසින් අපොයියාව නිමාවට පත් කරනු ලබන පහත කවි පදයද ජීවන පරිච්ඡේදයට ගැඹුරු අරුත් උත්පන්න කරන්නා වූ ඉතා අග්‍රගණ්‍ය නිමාවක් බවද පැවසිය යුතුමය.

"ඔබ ඉදිරියෙහි ඇති ප්‍රහෙලිකාව ගැන සිතන්න,

ඔබට උදව් කිරීමට වචන මග බලාගෙන හිඳී......."

                                  📌 සටහන - සවිදු ඉරෝෂන්

 

 

 

 

 

 

Friday, June 9, 2023

මාණික්කාවත

 

සෙංකොට්ටං කියවන ඕනෑම අයෙක් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ මාණික්කාවත කියවීමට සිත් පහළ කර ගන්නේ නිරායාසයෙනි.සෙංකොට්ටං මෙන්ම මාණික්කාවත ද අතීත ශ්‍රී ලංකාවේ ගැමි පරිසරයක් වටා ගෙතුණු සුන්දර නවකතාවකි.තම උපන් ගම හැර දමා වෙනත් ගම්මානයක පදිංචියට යන කෙටිහාමි සහ පිච්චි යුවළගෙන් මෙම කතාව ආරම්භ වේ කතාව කෙටිය. සරලය. සෙංකොට්ටං තුළදී මෙන්ම මෙම කතාව තුළ දී ද සුපුරුදු ගැමි බස් වහර භාවිතා කරන බවක් දක්නට තිබේ. සෙංකොට්ටංහි හමු වූ වීරප්පුලි හේනයාගේ චරිතය ද මෙම කතාව තුළ නැවත දැකගත හැකිය. නමුත් මෙහිදී පාඨකයාට හමුවන්නේ ළමා වීරප්පුලි හේනයා යි.මෙම නවකතා ද්විත්වයම එකිනෙක ඈදා නිර්මාණය කිරීම මඟින් නිර්මාණවේදියාගේ සුවිශේෂ දක්ෂතාවය ප්‍රකට කරයි.සංසාර චාරිකාව පුරාවට අසීමිත දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන සෑම මිනිසෙකුම සිහිගන්වමින් ඒ උතුම් මානව පරපුරට උපහාරයක් වනු වස් ඉහත දැක් වූ මානව චරිත කෙරෙහි දයාදී හදවතකින් ජනිත කළ අග්‍ර ඵලයක් වශයෙන් ග්‍රන්ථාරම්භයේදීම මාණික්කාවත හදුන්වා දීම රචකයා විසින් සිදු කර තිබේ.

"සංසාර කන්නය පුරාවට

මහපොළෝ කය මෙල්ල කොට සීරුවට

අඳ දිවි පැතුම් වපුරා එහි ලද

දරු මුණුපුරන් සරි අස්වනු

මද සිනා සහිත ව

ඔසවාගෙන ගොස්

සිටු මැදුරු දොර දොරකඩ තබා

ආපසු ගෙදර එන ගමනේ

කවුරුත් නැති හරියකදී

පිටවුනු

ඒ සෑම සුසුමක් උදෙසාම

හිස නමා හමයි මේ සුළං

හිස නමා හිඳී මේ අකුරු..."

ඇතැම් ගැමි මිනිසුන් තුළ පවතින අසාමාන්‍ය මිනිසත් බව මෙම නවකතාව තුළ කෙටි හාමිගේ චරිතය හරහා විශද කිරීමට කතා නායකයා කටයුතු කරයි.මිනිසා පමණක් නොව සත්ත්ව සංහතිය කෙරෙහි ද අපූර්ව මානව දයාවක් ආදී ගැමියා තුළ පැවතිණි.පහත උපුටන තුළින් ගැමියෙකු වශයෙන් කෙටිහාමි තුළ පැවති එම අපූරු මානව ගුණධර්මය වැඩිදුරටත් තහවුරු කර ගැනීමට හැකියාව පවතී.

"හරිම අපූරුයි අලුත් කුඹුරට කොක්කු ඇවිත් , කුඹුරක් කෙටුවම වැපුරුවා ම කොක්කු ඉන්න වුවමනයි තමයි."

"පැළ වී ඇටයක් කර තබාගත් කුහුඹුවෙකු ලියද්දෙන් ගොඩවී ගමන් ගනී. ඒ පසුපස තවත් උන්ගේ පවුලේ ම කුහුඹු පෙළකි.පිච්චී යම් ප්‍රතිචාරයක් නොපෙන්නා කෙටිහාමිගේ ඊළඟ ප්‍රතිචාරය තෙක් බියවී බලා උන්නාය. කෙටිහාමි සිනාසුනේය.

ඉන් අනතුරුව කෙටි හාමි පහත ප්‍රකාශය සිදු කරයි.

"මේ බලාපල්ලකෝ කොරන වැඩක හැටි..!

 බලාපල්ලා අස්වැන්න කරතියාගෙන යන අපූරුව, ඕකට ඉතින් එපා කිය හැක. කුඹුරකින් කොයිතරම් නම් උදවිය බඩ පුරෝගන්නවා ද? කාරි නෑ මේ උන්ගෙ මහ පොළොව නොවේ."

ගැහැණිය යනු මෙලොව සිටින දරා ගැනීම අතින් වූ ඉහළම සංකේතයයි. කාන්තාව ධරණී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ ද එබැවිනි. අහසක් සේ වෙනස් වන සමාජ තත්ත්වයන් දුක්ඛ දෝමනස්සයන් හමුවේ පොරවක් මෙන් දරා සිටින්නට ගැහැනුන්ට ඇත්තේ සුවිශේෂි වූ හැකියාවකි. කාන්තාවක් සතු නොසැලෙන ආත්ම විශ්වාසය හා දරාගැනීමේ ශක්තිය හා ගුණදාරීගේ හා පිච්චිගේ චරිත ඔස්සේ නිර්මාණවේදියා මැනවින් ප්‍රකට කරයි.

වරෙක කෙටිහාමි විසින් පිච්චි පිළිබඳව සිතන්නේ මෙසේ යි.

"ඇය මහත් බයාදු ගති එකියකි. එසේම අනන්ත අසාධාරණකම්වලට මුහුණ දුන් ගැහැනියකි. එහෙත් තමාට ජීවත් වීමේ අප්‍රමාණ සවිශක්තිය දී ඇත්තේ මේ නිහඬ ගැහැනියයි.මේ දින කීපය තුළම ඈ මහන්සිය නොබලා තමා හා කරට කර වැඩ කළාය. වනාන්තර ජීවිතය කෙතරම් අවිනිශ්චිත වුවද ඇයට ඒ පිළිබඳව වගක්වත් තිබුණේ නැත.වපුරන ලද ලියද්ද දෙස බලා ඈ තනිවම සිනාසුනාය."

වසංගත රෝගයෙන් පීඩා විඳි කෙටිහාමි බැලීමට යන අන්ධ ගුණධාරීගේ චරිතය තුළින් කාන්තාවක් සතු අසීමාන්තික දරාගැනීමේ ශක්තිය නිර්මාණවේදියා තවදුරටත් පහදා දෙයි.

"මයෙ අප්පච්චී..,මං උඹලා හොයාගෙන හොයාගෙන ආවා. සමන් දෙවි හාමුදුරුවො මා පස්සෙන් ආවා. ලුණු කැද මුලත් ඇන්න මං හෙමින් හෙමින් අකුල් අස්සෙන් රිංග රිංගා ආවා. අපේ කුඹුර ගත්ත නපුරු උන් මයෙ පස්සා පැත්තට පයින් ඇන්නා. පල ගෙදර කියලා. මං උන්ට හොරෙන් ආව මයි අප්පුච්චා,මටත් ලෙඩ වෙන්න උවමනායි මයෙ අප්පුච්චේ."

මියගිය පිච්චිගේ චරිතය පිළිබඳව නිර්මාණකරුවා ප්‍රකාශ කරන්නේ මෙසේ ය.ඒ තුළින් ද කාන්තාවක් සතු අසමසම දරාගැනීමේ ශක්තිය විශද වෙයි.

"බොහෝ දුර ගෙවා ගෙන අවුත් මහා වන මූකලානේ තමා සමඟ දිවි ඇරැඹූ ගැහැණිය අද බොහෝ දේ කොට නික්ම ගොස්, මේ වෙල්යාය ගේදොර පටන් සිය පරම්පරාවේ අවසාන පුරුක වන පුංචි තිලකරත්න දක්වා වූ සෑම සම්පත්තියක් ම පිච්චි නම් වූ ඒ වටිනා ගැහැනිය නිසා නොවේදැයි කෙටිහාමිට කල්පනා විය. පිච්චි උතුම් ගැහැනියකි. පළමු දරුවා ලබන්නට අප්‍රමාණ දුකක් විධි ඇය ඉන් පසුව ගැහැණු සිය ගණනකට වින්නඹු අම්මා වූවාය. ඇය රැස් කරගත් පින් සුළුපටු නොවේ."

සමාජය ගතික ස්ථරායනය කි.නිරන්තරයෙන් වෙනස්කම්වලට ලක් වීම එහි මූලිකම ලකුණයි. එම සමාජ විපර්යාස තත්ත්වයන් මැනවින් විශද කිරීමට මෙම නවකතාව සමත්ව ඇති බව කිව හැකිය. මිනිස් සමාජයේ දැකිය හැකි විවිධාකාරයේ දුර්වලකම් හා හදවත කම්පා කරන සිදුවීම් ද තත්ත්වාකාරයෙන් මවා පෙන්වීමට මස්ඉඹුලයන්ට මෙම නවකතාව හරහා හැකිවී තිබේ.එමෙන්ම අතීත ජන සමාජයේ ගැමියන් තුළ පැවැති වටිනා ගුණ ධර්මයන්ගේ පරිහානිය,තාක්ෂණික ක්‍රමික දියුණුව, දීර්ඝකාලීනව සිදුවන පරිසර හානිය අනෙකුත් ජනවර්ගවල හා ආගම්වල ව්‍යාප්තිය වැනි විවිධ සමාජ විපර්යාසයන් හුවා දක්වමින් වඩාත් ප්‍රබලව හැඟවීමට නිර්මාණකරු කටයුතු කරයි.

"කලබල දැන් රට මැද්දට ඇවිදින්. සිංහල කාණ්ඩයක් කියනවලු සිංහල විතරක් කතා කොලාම ඇතිය කියලා. දෙමළ කාණ්ඩ කියනවලු, බෑ එහෙම බෑ කියල. ඕන් ඕකට එකට එක කියෝගෙන තමයි රණ්ඩු ඇවිලිලා තියෙන්නේ. " (පිටුව  132 – 133)

"ඔය කියන හැටියට රේඩියෝ සූත්තරේ කතා කොරන්නේ අකුරු දන්නා කියන කාණ්ඩයක් නං ඒ කියන දේවල් මනුස්සයන්ට නරක දේවල් වෙන්න බෑනේ.ඒත් ඔව්වාම අහ අහ ඉඳලා මිනිස්සු කුඹුරට බහින එකත් අමතක කොරල දාවිද මන් දන්නෑ." (පිටුව 140)

ගැමි පරිසරයේ සුන්දර බව තත්ත්වාකාරයෙන් පාඨක දෙනෙත් අතර සිත්තම් කිරීමට රචකයා සමත්ව ඇති බව නවකතාව කියවන ඕනෑම අයකුට වටහාගත හැකිය. එම සුන්දරත්වය එතරම් අපූර්වාන්විතව මවාපෑමට නිර්මාණකරු විසින් යොදාගෙන ඇති ඔහුටම ආවේණික බස් වහර තුළින් ද මනා පිටිවහලක් ලැබී තිබේ.

"මිනිස්සු හැම කොට්ඨාසයකටම ඇයි බැරි අර කුඹුක් ගස් පෙළ වගේ එකට ගෑවි ගෑවි සන්තෝසෙන් ඉන්න. මනුස්සයෙකුට කරදරයක් කොරනවා තියා කූඹියෙක්වත් පා ගන්න තරම් හිතන්න නාකයි.එව්ව මාත් හරි හරියට ඉගෙන ගත්තේ උඹලගෙ අම්මගෙන්." (පිටුව 136)

"ඒ ගෑනි බඩින් ඉන්න කිරිල්ලියන්ට බිත්තර දාන්න පහසුවෙන්නය කියල එළඟිතෙලෙන් බත් පිහලා ගුලි හදලා මිදුලේ ලෑල්ලේ තිව්වා. ගොයම කපනකොට ගොයමේ පුංචි කුරුළු කූඩු හම්බුනාම ඒ තැන්වල වටේට ගොයම ඉතුරු කොරලයි ගොයම කැපුවේ." (පිටුව 136)

මීට අමතරව සෙංකොට්ටංහි සේම අතීතකාමී සමාජයේ පැවති කුල ක්‍රමය, පාලන තන්ත්‍රයේ ස්වභාවය, සන්නිවේදන ක්‍රම හා වෙදහෙදකම් ආදිය පිළිබඳව ද ප්‍රාමාණික අන්තර්ගතයක් මෙම නවකතා නිර්මාණය ඔස්සේ දැක ගැනීමට හැකියාව පවතී.

"ඇයගේ දෑස් සුවකර ගැනීමට කෙටිහාමි හා පිච්චි නොකළ දෙයක් නැත. තුවාල අතරින් ඇස් සිදුරුවලට ළපටි කහ ගොබ කොටා මිරිකා වත් කළහ.කරල් හැබ පිටි දියකර වත් කළහ. කොහොඹ කොළ කොටා වත් කළහ." (පිටුව 52)

"කොරනෙල් විභාගය පැවැත්වෙමින් තිබේ. යුරෝපීය ඇඳුමෙන් සැරසී රක්වාන සුදු මහේස්ත්‍රාත්වරයා සහ තවත් නිලධාරීහු කිහිපදෙනෙක් අමුණ අසල කොළ අතුවලින් වට කරන ලද තැනක මිනිය කපති.ලන්සි පොලිස් සැරයන්වරයෙක් හා කොච්චි රාළහාමිලා කිහිප දෙනෙක් අමුණ උඩ රැඳී හිදිති. කලින් දැක නැති මේ  නානාප්‍රකාර වූ බලවත් අමුත්තන් දැකීමෙන් ගම්මු පුදුමයටත් බියටත් පත් වී හිදිති. ආරච්චි උන්නාන්සේ ගම්මුන්ට ඇසෙන්නට සද්දෙන් කෑ ගසන්න විය." (පිටුව 110)

මාණික්කාවත මෙබඳු වූ කරුණු රැසකින් සුපෝෂිත නවකතාවක් වුවද එය දීර්ඝ නවකතාවක් නොවීමද මෙම නවකතාව තුළ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි.එය මෙම ග්‍රන්ථය කෙරෙහි වූ පාඨක අභිරුචිය තවදුරටත් වර්ධනය කරන බව නොරහසකි.මෙම නවකතාව හරහා සැබෑ ඉතිහාස කරුණු හා මුහුවෙමින් කතාවක් ගොඩනැගීමට ලේඛකයා තුළ වූ විශිෂ්ට පරිකල්පන ශක්තිය ඉස්මතු කර දක්වයි. වැදගත්ම කරුණ වන්නේ මෙම රචනයෙහි අන්තර්ගත සංකේතයන් වටහා ගැනීමට නම් ඊට සමවැදී සංවේදීව මෙම නවකතාව කියවීම අනිවාර්ය වන බවයි. නැතහොත් මෙහි පවතින සැබෑ සංකේතාර්ථ ජනනය කර ගැනීම උගහටය. සංකේත භාවිතය ඔස්සේ නවකතාව සුවිශේෂී හැඩය ලබා ගන්නා අතර,කතාව පුරාවට එවැනි සංකේත භාවිතා  කර ඇති බව හොඳින් කියවන්නෙකුට අවබෝධ කරගත හැක.

"මේ බිමට පත් පළමු මිනිස් ප්‍රාණීන් දෙපළ විසින් බිම් සකසා, දිවි අරඹා, සංසාර දිවි පොටට අමුණන ලද පළමු ජීව වස්තුව එසේ ඉරණම් හර නොලබාම මහපොළොව පතල් පතුලක ගැඹුරේ සැඟවී යද්දී...." (පිටුව 157)

"අහස් ඉමේ ගෑවෙන කඳු පන්තීන් අතර දුර ම ඒවා ආතලාගේ නිලෙන්ද, ළඟම ඒවා තාත්තලාගේ අයියලාගේ කොළෙන් ද, ඈත දුර බැස යන හිරුට අයත් පෙදෙස පොල්ගම්පොල සහෝදරයන්ගේ රතෙන් ද යුතුව දිස්වනු පෙනේ." (පිටුව 165)

පසුකාලීනව මෙම නවකතාව ටෙලි සිනමා වෘතාන්තයක් බවට පත්විය.එහි තිර පිටපත ද මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින්ම රචනා කරන්නට යෙදුනි.

එහෙත් මාණික්කාවත මෙතරම් කරුණු රැසක් අනාවරණය කරන ලාංකේය ගැමි ජීවන සුවඳ වපුරාලන බිජුවටක් වුවද සෙංකොට්ටං නැවත කියවීමක් හා සමාන බවක් හැඟී යන හෙයින් යම් ඒකාකාරී බවක් පෙන්නුම් කරනු ලබන බවද ඇතැම් පාඨක විචාරක අදහසයි.



📌 සටහන - සවිදු ඉරෝෂන්


සෙංකොට්ටං

 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචනා කරන්නට යෙදුණු සිය කුළුඳුල් නවකතාව වූයේ සෙංකොට්ටං නවකතාවයි.තම ග්‍රාමීය අත්දැකීම් පසුබිම් කරගනිමින් සුරචිත මේ අපූර්ව නවකතාව ජනගත කෙරුණෙ 2010 වසරේදීය.විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම සම්මාන, සාහිත්‍ය සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ආදී අනේකවිධ ගෞරවයන්ට මෙම කෘතිය පාත්‍ර විය.සෙංකොට්ටං නවකතාව මෙම නිර්මාණවේදියාගේ සිතෙහි ඇදුනේ ටෙලි නාට්‍ය පිටපතක් ලෙස සැකසීමටයි.නමුත් එම වකවානුව වන විට ටෙලි නාට්‍ය කලාව පිළිබඳව එතරම් පැහැදීමක් ඔහු තුළ ඇති වී නොතිබුණු නිසා එය ඉබේම නවකතාවක් වශයෙන් ලියන්නට ඔහු අදහස් කළේ ය.

කුල ක්‍රමය යනු ජානමය ලේවලට කිඳා බැස ඇති දෙයකි. එය පරම්පරාවෙන් පරම්පරාවට යුගයෙන් යුගයට නොනැවති  ඉදිරියට පරිණාමය වන අතර අදටද මෙහි අවශේෂ යම් යම් ස්වරූප වෙනස්කම් සමග සක්‍රියව පවතී.කුල ධූරාවලිය තුළ දැඩිව පීඩාවට පත් වන්නේ රජක කුලයයි. ගම්වලින් පවා කොන් කළ ඔවුන්ගේ පීඩාවන් අනිත් කුලවලට වඩා ප්‍රබලය. ඔවුන්ගේ ජීවිත කතා තුළ අප විසින් විමසුමට ලක් නොකළ විශාල වපසරියක් තිබෙන බව රචකයා ගේ අදහසයි.ඔවුන් අත්විඳි පීඩාව අප අතීත ලේඛකයන් වෙතින් සැබෑ ලෙස නිරූපණය නොවීම දැකගත හැකි විය .එවැනි පීඩිත කුල සමාජ ක්‍රමයක දිගහැරෙන නවකතාවක් නිරූපණයට මස්ඉඹුලයන්ට අවශ්‍ය විය. ඒ එය අප අතින් සිදුවිය යුතු ඓතිහාසික ක්‍රියාවලියක් සේ ඔහුට හැඟී ගිය හෙයිනි. එනිසාවෙන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් සිය කුළුඳුල් නවකතාව සඳහා සෙංකොට්ටං ප්‍රස්තුතය යොදාගෙන තිබුණි. තවද සාගර පලන්සූරිය කවියාගේ "නිර්මාණ ප්‍රවේශය" නම් කෘතිය ද මෙම වස්තු බීජ සපයා ගැනීමේදී කතානායකයාට විශාල බලපෑමක් සිදුකළ බව ඔහු විසින්ම පවසා තිබේ.එම ස්වයං ප්‍රවාදයේ සඳහන් වන පරිදි ඔහු සේවය කළ කහවත්ත ප්‍රදේශයේ පාසලක දරුවන්ට කුල මගින් ඇති කර තිබූ පීඩනය මැනවින් විශද කළේය.ඉහළ කුලවල දරුවන්ට ඩෙස්, පුටු තිබුණද පහළ කුලවල දරුවන්ට පැදුරු ලබා දීම වැනි දේ මෙම නිර්මාණවේදියාගේ සිත් පහරන කරුණක් විය.එය ඔහුට වඩාත් තදින් දැනුනේ කහවත්ත ප්‍රදේශය ඔහුගේ උපන් ගම වූ බැවිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සෙංකොට්ටං නම් අග්‍රගණ්‍ය නවකතාව කලඑළි දැකීමයි.ඒ පිළිබඳව නවකතාවෙහි ආරම්භයෙහි ම සඳහන් වන පූර්විකාව තුළින් අවබෝධ කරගත හැක.

පිදුම

මානව සංහතියේ

නෙක නෙක කිලිටි කෙලෙසුන්

ස්වකීය දෑත්වලින්

සුදෝ සුදට පවිත්‍ර කර දී

හිස් දෑත බදාගෙන

හිතේ මොනවදෝ හිරකරගෙන

නිහඬවම මිය පරලොව ගිය

ඒ උසස් මිනිස් වර්ගයාට

භක්ත්‍යාදරයෙන් කෙරෙන

උත්තමාචාරය....

කුල භේදය විසින් එකල සමාජයේ ඇති කර තිබූ පීඩනය මෙහි අන්තර්ගත එක්තරා සිදුවීමක් තුළින්  තත්ත්වාකාරයෙන් දැක ගත හැක.බබා හේනයාට අකුරු ශාස්ත්‍රය ඉගැන්වීම සඳහා වීරප්පුලි හේනයා ඇතුළු පිරිස උත්සාහ ගනු ලබන අවස්ථාවේදී වංශවත් පිරිස් විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් කුල භේදයේ අමානුෂිකත්වය මැනවින් විශද කරයි.එම අවස්ථාවේ දී භාවිත වන පහත සංවාද ප්‍රකාශ ඇසුරින් ඒ බව අවබෝධ කර ගත හැක.

"අපේ ළමයා ඔය උන්නැහේලයේ ඒ දරුවො එක්ක එකට ඉන්දෙව්වට මාත් කැමති නෑ. මගේ ඇඟ හිරි වැටුන ඒ වෙලාවේ. උන්නැහැල කැමති නං පැදුරු කෑල්ලක් එළා දීලා අපේ ළමයට අයිනකිං ඉන්න දෙන්න."(පිටුව 112 - 113)

"එහෙම ඉඳගත්තත් උගන්නන්නෙ එකම දේවල් බව දැන් ඉස්කෝලේ මහත්තයාගේ කටින්ම පිට උනා නේ. අපි කැමති කැමැති නෑ ඒකට.මේක මොන මල මලවිකාරයක්ද අපේ දරුවොයි රඳවයි , බඩහැලයයි , පද්දයි ඔක්කොම එකට ඉඳගෙන අකුරු ලියන්න තියාගත්තම අපි කොහොමද ගමක වසන්නේ? " (පිටුව 113)

සෙංකොට්ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට ප්‍රදේශ මීට දශක අටකට පමණ පෙර විසූ සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්ථානගත කරනු ලැබූ අවවරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා ,ඔහුගේ බිරිඳ මල්මරිදී , වැඩි වියට පත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා , පොඩිනා ඔහු සමඟ විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබාහේනයා නම් ලත් 8 හැවිරිදි දරුවා සෙංකොට්ටං හි ප්‍රධාන චරිත වෙති.

සෙංකොට්ටං නවකතාවට පාදක වූ චරිත සැබෑ චරිත නොවුවද එවැනි චරිත තවදුරටත් සමාජයේ ජීවත්වන බව මෙම නිර්මාණවේදියා ගිය අදහසයි.කතාව හා චරිත 1930 ගණන්වල පැවති සමාජ ආර්ථික දේශපාලන තත්ත්ව මත ගොඩනැඟුණු පරිකල්පනය කි.එකී ප්‍රස්තූතිය විදාරණය කිරීමට වඩාත් උචිත, අපූරු භාෂාවක් ඔහු විසින් යොදා ගත් අතර ඔහු එය හිතාමතා නිර්මාණය කර ගත්තකි.නවකතාව නියෝජනය කරන වකවානුවේ සිට අද දක්වා පැවත එන පරම්පරාවේ අවසාන පුරුක් සමග කතාබහ කර අදහස් හුවමාරු කරගැනීම තුළිනුත් , ඔවුන්ගේ වාග් විලාශය පිළිබඳව ගවේෂණය කිරීම තුළිනුත් උකහා ගත් කරුණු අනුව ඔවුන්ගේ බස් වහරේ පවතින අපූරු කාව්‍යාත්මක බව අනුව යමින් නව කතාවට උචිතම බස් වහර මස්ඉඹුලයන් විසින් යොදාගෙන තිබේ.ඒ බව පහත ප්‍රකාශයන් තුළින් මැනවින් පැහැදිලි වේ.

"මහ මිනිස්සු කුඹුරුවල වැඩට ගිහින්...ඇටකිච්චො විතරයි ගෙවල්වල"  

"ඇරත් දැනටමත් ඔය පිත්තල එක්කාසු වෙලා තියෙන්නේ මහ හුගක්.තව කොච්චර නං දුර තියෙනවද අනුරාජ්ජපුරේට?ඔහොම යද්දි තව එක්කාසු වෙයි බර සාරෙට." 

"අනේ.., අනේ..,තිත්තකඩයිනේ , උඹලා මයෙ කකුල් කඩාල්ල... කඩාල්ල...මොනවදෝ කන්න දේවල් හොයා ගන්නවා.මෙතන සක්විති රජතුමා වාඩිවෙලා උන්නා නං උඹලා ඒත් මේ වගේම කඩාල්ල... කඩාල්ල... කනවා.ආයෙ මෙතැන ගොවිගම - කරාව - -වහුම්පුර-බඩහැල-බද්ගම-ගහළ- රොඩී කියලා කොයියම්ම මනුස්සයෙක් උන්නත් උඹලට ඒකෙ පංගුපේරුවක් නෑ." 

අනෙක් අතට නිර්මාණවේදියාට එල්ල වූ දෝෂ දර්ශනය නම් ඔහු කවියෙකු වීම නිසා මෙවැනි කාව්‍යමය හැඩයක් ඇති භාෂාවක්ම නවකතාව සඳහා යොදා ගත් බවයි.ඊට පිළිතුරු සපයන නිර්මාණකරු පවසන්නේ ඔහු කවියෙකු වීමට උත්සාහ දරන්නකු මිස කවියෙකු නොවන බවයි .තවද සෙංකොට්ටං නවකතාවේ භාෂාව තුළ පැවති කාව්‍යමය ලක්ෂණ දැරීම කෘතියට ආලෝකයක් මිස මිස, අසාධාරණයක් නොකළ බවයි.නවකතාව විසින් නිරූපිත වස්තු බීජයබීජයට උචිත ම වූ එම බස් වහර ඒ සඳහා තමා විසින් යොදාගැනීම පමණක් කළ බවයි.නව කතාවේ ප්‍රස්තුතය හා ආකෘතිය මත භාෂාවේ ස්වරූපය තීරණය වන බව පවසන ඔහු නිර්මාණකරුවෙකුට අවශ්‍ය ඕනෑම බස්වහරක් නිර්මාණයකට යොදා ගත හැකි බවත් එමගින් විදලිත ප්‍රස්තුතයට හා ආකෘතියට අසාධාරණයක් නොවිය යුතු බවත් වැඩිදුරටත් දක්වයි.පාඨක ආකර්ෂණය ගොඩනැගෙන, පාඨක ආකර්ෂණය දිනා දෙන භාෂා ශෛලියකින් නිර්මාණ රචනය සිදු විය යුතු බව ද ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කරයි.

"උඹට කියන්න අපේ කිරි අම්මා කෙනෙක් හිටියා මාගල්ල වත්තේ වංශ රිදී කියල.කුණුහරුප කියනවා කටේ නොගෑවී.මගේ ඔන්න එක පළහිපව්වක දී මගේ ළඟින් ඉඳගෙන මෙන්න මේ මං උඹගෙ හිත හදන්නා වාගේම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුනා.ඒ ගෑනි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා...ඒ කිරි අම්මා කිව්වා ඕනි එකෙක් එක්ක ඕනි විගඩමක් නැටුවට කමක් නැතේ ය. හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතුම අමුතු ජාතියක් ය . අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත. අන්න ඒ හින්දා උඹ ළඟ ඔය තියෙන හක් ගෙඩි දෙකයි පංච බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකම්වලට පරිහරණෙට දෙන්න එපාය කියලා....බලාපන් රත්තරනේ ඒක මොනතරම් මසුරං කතාවක් ද කියලා ඕනෑම ලමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා.කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ."  

සෙංකොට්ටං නවකතාව ප්‍රශස්තව ගොඩනැගී තරමක කලබලයකින් අවසන් වන බව සමාජ පාඨකත්වය වෙතින් නැගුණු තවත් ප්‍රශ්නයකි.ඊට පිළිතුරු සපයන නිර්මාණකරු ප්‍රකාශ කරන්නේ තමා එය හිතාමතාම සිදු කළ දෙයක් බවයි. කතාව ගොඩනැගීමෙන් පසු චරිත හරහා තිගැස්මක් ඇති කර එය එතැනින් හමාර කොට අලුත්  අත්දැකීමකට යන්නට ඔහුට අවශ්‍ය විය. වසර 70ක වැනි කාල පරාසයක සිදුවන සිදුවීම් සමුදායක් එකින් එක විස්තර කිරීම කිසිසේත් කළ නොහැකි අතර එය නිර්මාණයක් වන්නේ ද නැත.එසේ වුවහොත් වන්නේ එය තවත් සම්ප්‍රදායික නිර්මාණයක් වීම පමණි.නවකතාව තුළ සිදුවන පරිවර්තනය ප්‍රශ්නකාරී වීම පාඨකයන් අවබෝධ කර ගත්ත ද එය විචාරකයින් උගත් නවකතා ශෛලීන්ට පටහැනි එකක් විය.නමුත් නවකතාකරුවෙකුගේ නිර්මාණයක් මෙසේ අවසන් විය යුතු යැයි කිසිවෙකුටත් නීති පැනවිය නොහැක.

මෙසේ අපූරු කාව්‍යාත්මක භාෂාවකින් සන්නද්ධව, ගැඹුරු ජීවනාදර්ශ සමාජගත කරමින්, ප්‍රශස්තව ගොඩනැගී තරමක කලබලයකින් අවසන් වෙමින්, පාඨක අභිරුචිකත්වය රඳා පවත්වා ගන්නා වූ අපූරු නවකතාවක් වශයෙන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචනා කරන්නට යෙදුන සෙංකොට්ටං නවකතාව පෙන්වා දිය හැක.පහතින් දැක්වෙන එහි අවසානය ද ඉතා රමණීය වූවකි.

"ආයෙමත් අර සුවඳ දැනෙනවා, රෙදි සෝඩා කලවම් වෙච්චි තම්බපු රෙදි සුවඳ.., ඒ සුවඳ මට හැමදාකම දැනේවි.., ඔව් ඉදිරියටත්, මියයන්න කලින් ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවඳ මට දැනෙයි." 

                                    නිමි.

සෙංකොට්ටං නම් ප්‍රතිභාන්විත නවකතාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා පමණක් නොව ඊට විචාර ලිපි රැසක් ද පළ විය. ඒ අතර මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි විශිෂ්ට සාහිත්‍යධරයන් ද වූ අතර, එතුමා විසින් මෙම නවකතාවේ සාධනීය හා අනෙකුත් ලක්ෂණ විචාරයට ලක් කර තිබුණි.එමෙන්ම තවත් වරෙක ප්‍රසිද්ධ විචාරකයකු පවසා තිබුණේ සෙංකොට්ටං වූ කලී  අපුලන්නන් ගේ රමණය හැර අන් කිසිවක් නොවන බවයි.කෙසේ වෙතත් අදටද පාඨකයන්ගේ නොමද සම්භාවනාවට පාත්‍ර වන කෘතියක් ලෙස සෙංකොට්ටං පෙන්වා දිය හැක.


📌 සටහන - සවිදු ඉරෝෂන්

 

Thursday, June 1, 2023

ප්‍රසාදයක දිවිසැරිය

 



 

පොතුවිල් දොළ අසළ ඇති කුඩා අඩි පාරක දිනක් මිනිසෙකු තම මිත්‍රයෙකු විසින් ලබාදුන් ගෝන මස් කැබැල්ලක් රැගෙන ගමනක් පිටත්ව යයි.මෙම අඩි පාර දිගේ යන මිනිසාට ලොකු ඉඹුල් ගසක් හමුවන අතර එම ඉඹුල් ගසෙහි මිනිසෙක් එල්ලී මැරී සිටිනු මෙම මිනිසා දකීයි. තමන් අතෙහි වූ ගෝන මස් කැබැල්ල එම ගසේ එල්ලන මිනිසා ඉන් ඉදිරියට ඇදී යයි. එදා සිට ඒ මිනිසා පමණක් නොව සෑම මිනිසෙකුම මේ ගමට මස්ඉඹුල යැයි ව්‍යවහාර කරන්නට යෙදුනි. එලෙස නාමය ලත් මස්ඉඹුල ගම අද වන විට ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නම් නම් සොඳුරු නිර්මාණ නිර්මාණවේදියාගේ නිර්මාණ හේතු කරගනිමිනි.රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල නම් නම් හද්දා පිටිසර ප්‍රදේශයේ මස්ඉඹුල නම් ග්‍රාමයේ උපත ලැබූ පවුලේ දෙවනියා වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ පියා සාම්ප්‍රදායික ගොවියෙකු වූ සිරිපාල නැමැත්තාය.කරුණාව ගලා ගිය මව කරුණාවතී වූ අතර ඔහුට වැඩිමහල් සොයුරියක් ද විය.ශිෂ්‍යත්ව කඩයිමත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු  සහතික පත්‍ර උසස් පෙළ විභාගයත් අසමත් මස්ඉඹුල  එතරම් දක්ෂතා දැක්වූ සිසුවෙකු නොවීය.උනන්දුව කැපවීම අධිෂ්ඨානය තුළින් තම ජීවිතය සරි කරගත් පරමාදර්ශී පුද්ගලයකු වශයෙන් ඔහු හැඳින්විය හැක්කේ එබැවිනි.කාව්‍යකරණය සහ නවකථාකරණයෙහි ලා පවුල තුළින් ලත් ආභාසයක් නොවුනද පියා ගමෙහි පිරිත් මණ්ඩප, මගුල් පෝරු ආදී කලා කටයුතු වල නිරත වූ කලාවේදියෙකි.පියා පසුපස යමින් කුඩා කල සිටම ඔහුගේ කලා කුසලතාවයන්ට රුකුලක් වන්නට මස්ඉඹුල නිර්මාණවේදියා කටයුතු කරනු ලැබීය.ඔහුගේ ජීවිතයේ මිහිරිතම පරිච්ඡේදය වූයේ සිය මිත්තනියන් ය.කිසිදින අකුරු නූගත් හේ තමා පාරම්පරිකව ලත් දැනුමින්, අවබෝධයන්ගෙන් ඔහුව සුපෝෂිත කළාය.ඇයට කටපාඩම් තිබූ කවි ගණන සියයකටත් වැඩිය.ගැමි කතා කීමේ කලාවේ උපන් හපනියක් වූ ඇය තමන් ලත් සාම්ප්‍රදායික දැනුම තම මුණුපුරාට මනාව කාවද්දා දෙන ලදී.පවුල් පරිසරය ආර්ථික වශයෙන් ඉතා උසස් මට්ටමක නොතිබුණු නිසා අධ්‍යාපනය ලබන සමයේත්,අධ්‍යාපනය නිම කළ පසුත් පවුලට රුකුල් දෙන රැකියාවන්හි නිරත වන්නට ඔහුට සිදු විය.ඒ අතරවාරයේ තම සිතෙහි උපන් සිහිනය වූ නිර්මාණකරුවකු වීමේ සිහිනය සැබෑවක් කර ගැනීම සඳහා නිරන්තරයෙන් ඔහු විසින් තැපැල්පත් කොළඹ විවිධ ටෙලි නාට්‍ය නිර්මාණ, සිනමා නිර්මාණ වේදීන් වෙත යොමු කරන්නට කටයුතු කළේය. එලෙස යවන ලද තැපැල්පත් අතර වූ එක් පැල්පතකට රෝයි ද සිල්වා නම් ජේෂ්ඨ කලාවේදියා විසින් එවනු ලැබූ පිළිතුරු තැපැල්පත ඔහු සන්තකයේ තවමත් සුරැකිව පවතී.එහි සඳහන්ව තිබුණේ,
                            "ඔබ තවමත් කුඩා දරුවෙක් තවදුරටත් ඉගෙනගෙන ක්ෂේත්‍රයට පිවිසෙන්න."යනුවෙනි.
වර්ෂ 1999 වසරේ දී මොහු විසින් තමන් යොමුකළ තැපැල් පතකට ලැබුණු පිළිතුරක් මත පිහිටා සාමාන්‍ය සේවකයෙකු වශයෙන් ටෙලි නාට්‍යයක් සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.වයස අවුරුදු 19 ක් වැනි ඉතා කුඩා වයසකදී නුහුරු නුපුරුදු කොළඹට තම දරුවා යොමු කිරීමට නිවැසියන් කිසිසේත්ම එකඟ වූයේ නැත.එනමුත් තම සිහිනයන් පසුපස ලුහුබැඳ යාමේ බලවත් ආශාව හේතු කරගනිමින් මස්ඉඹුලයන් අභියෝගය භාර ගෙන සාමාන්‍ය සේවකයෙකු වශයෙන් මෙම ටෙලිනාට්‍යය සඳහා සිය දායකත්වය ලබාදීමට කොළඹ පුරවරට ආගමනය වීම සිදුවිය.එය කෙතෙක් දුෂ්කර ද යත් ඔහු සමග සාමාන්‍ය සේවකයන් වශයෙන් මෙම නාට්‍යයට දායකත්වය සැපයීමට පැමිණි අනෙක් දෙදෙනාම රැකියාව අත්හැර දමා ගිය ද තම සිහිනය වෙනුවෙන් බොහෝ දේ කැප කර තමන්ට ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට කතානායකයා වෙහෙසුණි.
සාමාන්‍ය සේවකයෙකු වශයෙන් ටෙලිනාට්‍ය කලාවට එකතු වූ ඔහු පසුව ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර බොහෝ අත්දැකීම් ලබා ගනිමින් පුහුණු ශිල්පියෙක්, සහය කලා අධ්‍යක්ෂවරයෙක් , දෙවන සහ තුන්වන සහාය අධ්‍යක්ෂවරයෙක් , නිෂ්පාදන කළමනාකරුවෙක් , තිරපිටපත් රචකයෙක් දක්වා පැමිණි ගමන් මඟ රෝස මල් යහනාවක් නොවේ.එකී විවිධ වෘත්තීමය ක්ෂේත්‍රයෙන් යටතේ අසමසම පරිචයක් ලත් ඔහු ප්‍රායෝගිකව ශාස්ත්‍රීය ශික්ෂණයක් ලද්දේය.
ඔහුගේ නිර්මාණ දිවියේ "ස්වයංජාත" ටෙලිනාට්‍ය හැරවුම් ලක්ෂයකි.පෞද්ගලිකව තමා බොහෝ ප්‍රිය කරන සාහිත්‍ය කෘතියක් ඇසුරින් සුදත් රෝහණයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම  ටෙලිනාට්‍යයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහු කටයුතු කරනු ලැබීය.  දිනකට ශිල්පීන් 120-130ත් අතර ප්‍රමාණයක් යොදා ගනිමින් දර්ශන තල ගණනාවක රූගත කිරීම් සිදු කළ අති දැවැන්ත නිර්මාණයක් වශයෙන් මෙම නිර්මාණය පෙන්වා දිය හැක.සෝමා ටී පෙරේරා මහත්මියගේ "ඉර හඳ යට" නවකතාව පාදක කර ගනිමින් එරංග සේනාරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ "අහසින් වැටුනු ගැහැනියක්" තිර පිටපත මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ කුළුදුල් තිර පිටපතයි.සුදත් රෝහණයන් විසින් අධ්‍යක්ෂණය කළ ගිරිකුල නම් ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ රචකයා වූයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් ය.එම තේමා ගීතය OCIC සහ සුමති සම්මාන හිමි කර ගැනීමට සමත් විය.ගීත රචනයට ප්‍රමුඛතාව දෙන ඔහු කවියට වඩා ගීතය ජනතාව අතරට ගෙන යා හැකි බව ප්‍රකාශ කරයි.අදටත් යම් ටෙලි හෝ සිනමා නිර්මාණයක් සඳහා ගීත රචනයේ දී රචනයේදී සම්පූර්ණ තිරපිටපත ම කියවා එම නිර්මාණයට වඩාත් උචිත පරිදි අදාළ තේමා ගීතය රචනා කරන්නට ඔහු කටයුතු කරයි. වඩාත් උසස් නිර්මාණ ජනගත කිරීම තමන්ගේ පරම අභිලාෂය වන බව ඒ ඔස්සේ ඔහු ප්‍රකට කරයි.
ටෙලිනාට්‍යකරනයෙන් කලාවට පිවිසි ඔහු තමන්ගේ නවකතා සහ කාව්‍ය ජීවිතය අරඹන්නේ ඉන් අනතුරුවයි.ඔහුගේ පළමු සාහිත්‍යය නිර්මාණය වූයේ 2010දී සුරචිත "සෙංකොට්ටං" ප්‍රබන්ධ නවකතාවයි.ඉන් අනතුරුව ඔහු විසින් "මාණික්කාවත" සහ "අපොයියාව" යන නවකතාත්, "හිරුත් හිම පියල්ලක", "ඇහිපියන් ඇහැරිලා" වැනි කාව්‍ය ග්‍රන්ථත් නිර්මාණය කරන ලදී.මේ සියලු සාහිත්‍යය නිර්මාණයන් දේශීය වශයෙන් විවිධ සම්මානයන්ට පාත්‍ර වූයේ ඔහු සතු නිසඟ කලා කුසලතාවය ප්‍රතිභාන්විත කරමිනි.
සාහිත්‍යකරුවෙකු වීමට පූර්වයෙන් වසර පහළොවක් පමණ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් ලබාගත් අත්දැකීම් ද, තම මිත්තණිය වෙතින් තමාට දායාද වූ කාව්‍යකරණයට අදාළ ආභාෂයන් ද උපයෝගී කරගනිමින් සාමාන්‍ය ජීවිතයක සිට අසාමාන්‍ය ගමනක් ආ මේ අපූර්ව නිර්මාණවේදියා සැබැවින්ම ලක් සාහිත කෙතට නිම වූ අග්‍රගණ්‍ය ප්‍රසාදයකි.


📌 සටහන - සවිදු ඉරෝෂන්

Saturday, September 17, 2022

ජීවිතය...




👪👪👪👪👪👪👪



 අපරිමිත සිත්තම්

මවා නේ හැඩ ගෙත්තම්

වියන මහ සුවිසල්

යදමකී අප සෑම දිවි පෙත්....


💕💕💕💕💕💕💕

📌 සටහන - සවිදු ඉරෝෂන්


හිරුත් හිම පියල්ලක

"මා කිසිම විටෙක කවියකු වීමට හෝ නවකතාකරුවෙකු වීමට අනවශ්‍ය උත්සාහයක් දැරුවේ නැහැ.මගේ මූලික කාර්යය වුණේ මට පේන දේ ,මට ඇසෙන දේ ,මට හිතෙන දේ...